තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් නාවික හමුදාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි එක් වැඩසටහනක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.
ඒ අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (22) සිය උතුරු නාවික විධාන චාරිකා වාරය අතරතුර දී, නාගදීප පුරාණ රජමහා විහාරයේ සහ එළුවතිව් දූපතේ ශාන්ත තෝමයාර් ක්‍රිස්තියානි දේවස්ථානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරිණි. එමගින් නාගදීප විහාරස්ථානය වන්දනාමාන කිරීම සඳහා නන් දෙසින් පැමිණෙන බැතිමතුන් හට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තවද, එළුවතිව් දූපතේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම දූපතේ පදිංචි සියළුම ජනතාව (පවුල් 120 ක්) සඳහා ද පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබී ඇත.
නාගදීප පුරාණ රජමහා විහාරස්ථාන සහ නාවික හමුදාව අතර ආගමික සහ සමාජීය වශයෙන් අතීතයේ සිට ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබයි. එය තවදුරටත් ශක්තිමත් කිරීමේ අදිටනින් යුතුව නාවික හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත නාවික හමුදා සමාජ සත්කාරක අරමුදලේ මූල්‍යමය දායකත්වයෙන් නාගදීප විහාරස්ථානයේ ජල පිරිහදු යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. එමෙන්ම එළුවතිව් ජැටිය අළුත්වැඩියා කිරීම සඳහා රජය විසින් වෙන් කර තිබූ මුදල් ප්‍රතිපාදන වලින්, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සෘජු කැපවීම හා උනන්දුව මත ඉතිරි කරගත් මුදල් ප්‍රයෝජනයට ගනිමින් එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එළුවතිව් දේවස්ථානයේ ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත. ඉතා අඩු පිරිවැයක් දරමින් උසස් ලෙස මෙම කර්තව්‍යයන් සිදු කිරීමට මග පෙන්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමා විසින් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමා වෙත සිය හෘදයංගම ස්තුතිය හා ප්රශසංසාව පිරිනමන ලදී. එමෙන්ම මේ සඳහා ඇප කැප වී කටයුතු කළ සියළුම නිලධාරීන් සහ නාවිකයන් හට සහ සිය දැනුම සහ තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම යන්ත්‍ර නිෂ්පාදනය කිරීම සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කරනු ලබන නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට ද සිය හෘදයංගම ස්තුතිය පිරිනමන බව ද නාවික හමුදාධිපතිතුමා එහිදී ප්‍රකාශ කරන ලදී.
කාලෝචිත සේවාවක් ලෙස දිවයින පුරා සිදු කරගෙන යනු ලබන මෙම සමාජ සත්කාරක සේවාව මගින් දිගු කාලයක් තිස්සේ නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයට අවශ්‍යතාවයක්ව පැවති ජල පිරිහදු යන්ත්‍රයක් ලබා දීම සම්බන්ධයෙන් නාගදීප විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ප්රවීනාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් විසින් බෞද්ධාගමික වතාවත් සිදු කරමින් නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට ආශිර්වාද කිරීම ද එහිදී සිදු කරන ලදී. තවද, එළුවතිව් ශාන්ත තෝමයාර් ක්‍රිස්තියානි දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමන් වන ජූඩ්දාස් පියතුමා ඇතුළු පූජකවරුන් විසින් ද දේව මෙහෙයක් පවත්වා නාවික හමුදාධිපතිතුමා අතුළු නාවික හමුදාවට දේවාශිර්වාද ලබා දීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවන් සඳහා නාගදීප පුරාණ විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්රවීනාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් ප්‍රධාන ගරුතර මහා සංඝරන්තය, එළුවතිව් දූපතේ ක්‍රිස්තියානි දේවස්ථානයේ පූජකවරුන්, වෙලනි ප්‍රදේශීය ලේකම් සේවේන්දරම් මහත්මිය, උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන්, බැතිමතුන් සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී නාවික හමුදාධිපතිතුමන් ඔවුන් සමග සුහද කථාබහක ද නිරත විය.
මෙම ජල පිරිපහදු යන්ත්‍ර 2 ත් සමග මේ දක්වා ජල පිරිපහදු යන්ත්‍ර 107 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 47,975 කට හා පාසැල් දරු දැරියන් 40,600 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් පවතින අතර, එය මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මහත් රුකුලක් වනු ඇත.
නාගදීප රජමහා විහාරස්ථානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීම









එළුවතිව් දූපතේ ශාන්ත තෝමයාර් ක්‍රිස්තියානි දේවස්ථානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීම








