නාවික හමුදා වෙරළාරක්ෂක යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි
 
නාවික හමුදා ඉතිහාසයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමනු ලබන ISO 9001:2015 තත්ත්ව සහතිකය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙරළාරක්ෂක යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය සමත් වී ඇත.
ඒ අනුව, අද (24) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සහතික ප්රදානෝත්සවය පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.
එම උත්සව අවස්ථාව ඇමතූ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කර සිටියේ වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතයේ 2000 වර්ෂයේදී ආරම්භ කෙරුණු මෙම යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මේ දක්වා තාක්ෂණික වශයෙන් ඉතාමත් දියුණු තත්ත්වයකට පැමිණ ඇති බවයි. මෙම ව්‍යාපෘතියට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන් සහ නාවිකයන් සතුව පවතින ඉතා උසස් දැනුම, වෘත්තීමය හැකියාව සහ කාර්යක්ෂම බව මෙම තත්ත්ව සහතික ලබා ගැනීම උදෙසා මනා පිටුවහලක් වූ බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
ඉන් අනතුරුව අදහස් දැක් වූ නාවික හමුදාධිපතිතුමා, මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට වර්තමානයේ මෙම තත්ත්ව සහතිකය ලබා ගැනීම දක්වා ඉතා කැපවීමෙන් රාජකාරී කළ සියළුම නාවික පුද්ගලයන් හට සිය ස්තුතිය හා ප්‍රශංසාව පිරිනමන ලදී. තව ද, මෙම තත්ත්ව සහතිකය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ද සිය ස්තුතිය සහ ප්‍රශංසාව පුද කරන බව පැවසීය. මෙම ව්‍යාපෘතිය මගින් ඉතා උසස් අයුරින් නිශ්පාදනය කෙරුණු වෙරළාරක්ෂක යාත්‍රා, ත්‍රස්තවාදය අවසන් කිරීමේ අවසන් අධියරේ මානුෂීය මෙහෙයුම සඳහා ද භාවිතා කළ අතර, ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීම උදෙසා මෙම යාත්‍රා මගින් නාවික හමුදාවට අතිවිශාල මෙහෙයක් ඉටු කර ඇති බව ද එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ඉන් අනතුරුව, අදාළ ISO 9001:2015 තත්ත්ව සහතිකය, වෙරළාරක්ෂක මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වෙත ප්රදානය කිරීම සිදු විය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති, ප්‍රදීප් ගුණවර්ධන, අධ්යක්ෂ ජෙනරාල් ටීජීජී ධර්මවර්ධන යන මහත්වරුන් සහ නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු නාවිකයන් රැසක් ද සහභාගී වී සිටියහ. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.











