69 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය
කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 69 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි. සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ආගමික නායකයින්, ගරු අග්‍රාමාත්‍යතුමන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති හා රජයේ නිලධාරීන් එම අවස්ථාව සඳහා සහභාගී විය. “ජාතික සමගිය” යන තේමාව යටතේ මෙවර පැවති නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීම සඳහා දිවයිනේ නන් දෙසින් ඉතා විශාල ජන පිරිසක් සහභාගී වූ අතර, උත්සවයට සහභාගී වු අමුත්තන් අතර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද විය.
අතිගරු ජනාධිපතිතුමන් විසින් නාවික හමුදා වාද්‍ය වෘන්දය මගින් ලබා දෙන මගුල් බෙර වාදනය සහ සක් හඬ මධ්‍යයේ ජාතික ධජය එසවීමත් සමග ජාතික නිදහස් දින සැමරුම් උළෙල ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය සූදානම් කිරීම නාවික හමුදාවේ සංඥා අංශයේ නාවිකයන් විසින් සිදු කෙරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 110 දෙනෙකු විසින් නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ වාදනයට අනුව ජාතික ගීය ගායනා කිරීම සිදු කරන ලදී.
ආචාර වෙඩි මුර 21 කින් ගෞරව දැක්වීමෙන් පසු සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතිය අමතන ලදී.
නිදහස් දින උළෙලේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කොමදෝරු ආනන්ද ගුරුගේ පෙර ගමන් රථයේ ගමන් කරනු ලැබූ අතර, කොමාණ්ඩර් ජනක හෙට්ටිආරච්චි විසින් නාවික හමුදා ඛණ්ඩයට අණදීම සිදු කරන ලදී. නාවික හමුදා පෙළපාලිය සරඹ උපදේශක බලඝණය, මූලස්ථාන බලඝණය, නාවික දියත් විධානය, විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සහ කාන්තා නාවික යන බලඝණයන්ගෙන් සැදුම්ලත් අංශ 6 කින් සමන්විත විය. නිදහස් උළෙලේ ආචාර පෙළපාලියට නීල, ශ්වේත සහ වෙස්වලා ගැනීමට යොදා ගන්නා සංග්‍රාමික නිල ඇඳුමින් සැරසුනු නාවික පුද්ගලයන් 910 දෙනෙකු එක් වුණු අතර, නාවික හමුදා වාදක කණ්ඩායමේ රණ ගී වාදනයට අනුව ඔවුන් උදාර ලෙස පෙළපාලියේ ගමන් කරන ලදී. ජාතියට ලබා දෙන විශිෂ්ඨ සේවය අගයමින් නාවික හමුදා මූලස්ථානය, නැගෙනහිර, උතුරු, දියත් විධානයන්ට සහ නාවික හා සාගරික විද්‍යාපීඨයට පිරිනමන ලද ජනාධිපති වර්ණ මහත් අභිමානයෙන් යුතුව රැගෙන යමින් නාවික හමුදාව එම පෙළපාලියේදී තම ප්‍රෞඩත්වය විදහා පාන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සරඹ උපදේශක බලඝණය ආචාර පෙළපාලියේ පෙරමුණින් ගමන් කළ අතර, ඒ සඳහා අණදීම සමූහ ප්‍රධාන සුළු නිලධාරී සුමිත් කුමාර යන ජ්‍යෙෂ්ඨ නාවිකයා විසින් සිදු කරන ලදි. ඉන් අනතුරුව ලුතිනන් කොමාණ්ඩර් බුද්ධික සම්පත් නිළධාරීතුමාගේ අණ පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම අංශයන් නියෝජනය කරමින් නාවික හමුදා මූලස්ථාන බලඝණය ගමන් කරන ලදි. විවිධ නෞකා, වේග ප්‍රහාරක යාත්‍රා සහ කුඩා යාත්‍රා වලින් සන්නද්ධ නාවික දියත් විධානයේ නාවික පුද්ගලයන්ගෙන් සමන්විත බලඝණය පෙළපාලියේ මිලගට ගමන් ගත් අතර, ඒ සඳහා ලුතිනන් කොමාණ්ඩර් එරන්ද වික්‍රමසිංහ නිලධාරීතුමන් අණදෙනු ලැබුහ. මහ සයුරේ මෙන්ම ගොඩබිමෙහි හා ගුවනේ සුවිශේෂී සටන් ක්‍රම පිළිබඳ විශිෂ්ඨ හැකියාවන් දක්වන විශේෂ යාත්‍රා බලඝණය ලුතිනන් කොමාණ්ඩර් චාමර ලියනගේ නිලධාරිතුමන්ගේ නායකත්වය යටතේද, කුඩා යාත්‍රා සහ වෙරළබඩ මෙහෙයුම් සංකල්පය හඳුන්වා දෙමින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය ලුතිනන් කොමාණ්ඩර් දුමින්ද දයානන්දගේ අණදීමෙන් සහ වෛද්‍ය, සංඥා, සැපයුම් හා තොරතුරු තාක්ෂණ යන අංශ නියෝජනය කරමින් කාන්තා නාවිකයන්ගේ බලඝණය ලුතිනන් චාමලී කරුණාරත්න යටතේ ද නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා එක් විය.
නාවික හමුදාව සතු නෞකා 6 ක්, වේග ප්‍රහාරක යාත්‍රා 12 ක් සහ සෙඩ්රික් යාත්‍රා 15 කින් ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදේ නිශ්චිත රටාවකට අනුව යාත්‍රා කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සිය ආචාරය පුද කරන ලදී.
තවද නාවික හමුදාව සතු යුදායුධ හැකියාවන් සහ ප්‍රධාන තාක්ෂණික අවි උපාංග ප්‍රදර්ශණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා රථ පෙළපාලිය ගමන් ගත් අතර, ඒ සඳහා අණදෙනු ලැබුවේ කොමාණ්ඩර් නාලක අබේසූරිය විසිනි.
නිදහස් දින සැමරුම් උත්සවයට විචිත්‍රවත් බවක් එක් කරමින් සිදු කෙරුණු පැරෂුට් සංදර්ශණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා ධජය රැගෙන කොමාණ්ඩර් ධර්මසිරි හේරත් එක්වුණු අතර, පාලක ප්‍රධාන සුළු නිලධාරී ජගත් ශ්‍රී ලාල් ඇතුළුව නාවික පුද්ගලයින් පස් දෙනෙකු අඩි 6000ක උසක සිට පනිමින් ගාලු මුවදොර පිටියට පතිත විය.
































