නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානයේ ලාහෝර් නුවර නාවික යුද පුහුණු පාසලේ ශිෂ්‍ය නිලධාරීන් අමතයි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (15) පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි යුද පුහුණු පාසලේ පාඨමාලාවන් හදාරන එම රටේ සහ අනෙකුත් විදේශීය රටවල ශිෂ්‍ය නිලධාරීන් අමතන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් “ශ්‍රී ලංකා නාවික හමුදාව සාම්ප්‍රදායික නොවන සතුරෙකු සමග සටන් වැදීමෙන් ලද අත්දැකීම්” යන මාතෘකාව ඔස්සේ සිය දේශණය පැවැත්විය.
එම දේශණය සඳහා එම පාසලට අනුයුක්ත ශිෂ්‍ය නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. එහිදී අදහස් දැක්වූ වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, ප්‍රථමයෙන්ම මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් පාකිස්තානු නාවික යුද පුහුණු පාසලේ අඥාපති, රියර් අද්මිරාල් මොසෑම් ඉල්යාස් මහතා හට සිය හෘදයංගම ස්තුතිය පුද කර සිටින බවයි. තවද, මෙම පුහුණු පාසල සමග එතුමාගේ පවතින සමීප සබඳතාවය පිළිබද සිහිපත් කළ නාවික හමුදාධිපතිතුමන් 1995 වර්ෂයේ මෙම පාසල මගින් සිය මාණ්ඩලික පාඨමාලාව හැදෑරූ ආකාරය ද එහිදී සිහිපත් කෙරිණි.
සිය දේශණය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව සාම්ප්‍රදායික නොවන සතුරෙකු හා සටන් කළ ආකාරයත් සාම්ප්‍රදායික නාවික හමුදාවක් වශයෙන් කටයුතු කළ ආකාරයත් විවිධ පරිවර්ථනයන්ට මුහුණ දෙමින් ජයග්‍රාහී නාවික හමුදාවක් බවට පත් වූ ආකාරයත් පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වීය.
තව දුරටත් අදහස් දැක්වූ එතුමා, ශ්‍රී ලංකාවේ තත්ත්වය, මුහුදු කොටි ත්රස්තවාදීන්ගේ ආගමනය, එල්ටීටීඊ ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන තර්ජන, ඒ සඳහා නාවික හමුදාවේ ප්‍රතිචාරය, මරාගෙන මැරෙන ප්‍රහාර මැඩපැවැත්වූ ආකාරය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු, කුඩා යාත්‍රා සංකල්පය සහ එල්ටීටීඊ පාවෙන අවි ගබඩා විනාශ කිරීම යනාදී කරුණු ඔස්සේ සිය දේශණය මෙහෙය වන ලදී.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන්ගේ ගෞරවනීය සහභාගීත්වය සහ ඉතාමත් හරවත් දේශණයක් පැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිලිණයක් එහිදී පිරිණැමුනු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් ද එම විද්‍යාලයේ ආඥාපතිතුමන් හට සමරු තිළිණයක් පිළිගැන්වීය.






