නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ගිණිකොන නාවික විධානයට අයත් ඔලුවිල් නාවික අනුඛණ්ඩය වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන්, ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් සහ පාලමුනෙයි ධීවර පරීක්ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (07) අක්කරෙයිපත්තු මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 20 ක්, පාවරල් යුගල් 4 ක්, මුහුණු ආවරණ 4 ක්, හක් බෙල්ලන් 62 ක්, මුහුදු කූඩැල්ලන් 14 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 18.5 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පාලමුනෙයි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




