කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්කර්ශවත් ලෙස නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකාවේ හා ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් මහත් භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් පසුව පවත්වන ප්‍රථම දේව මෙහෙය මෙයයි.
මෙම මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය සඳහා යාපනය රදගුරු, දියෝකීසියේ අණුනායක, ආචාර්ය පතිනාදර් ජෝශප්තාස් ජෙබරත්නම් පියතුමා, යාපනය දිසාපති එන් වේතනායහන් මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යාපනය භාර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී විය.
මෙවර මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික ක්රිස්තියාණි බැතිමතුන් 6700 දෙනෙකුට ආසන්න පිරිසක් මෙන්ම පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් ද එක්ව සිටියහ. එහි ප්‍රධාන දේව මෙහෙය යාපනය දියෝකීසිය භාර අගරදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් විසින් සිදු කරන ලදී.
දීර්ඝ කාලයක් තිස්සේ දෙරටේ බැතිමතුන්ගේ වන්දනාමානයට ලක් වුවත් මෙම දේවස්ථානය ඉතාමත් කුඩා මට්ටමින් හා අඩු පහසුකම් යටතේ පැවතිණි. මේ නිසා 2016 වසරේ පෙබරවාරි මස 21 වන දින පැවති කච්චතිව් මංගල්‍යය අවසන් වීමත් සමගම යාපනය දියෝකීසිය භාර අගරදගුරු ජස්ටින් ඥාණප්‍රකාශම් පියතුමන් විසින් මෙම වසරේ පැවැත්වීමට නියමිත දේව මංගල්‍යයට පෙර, පැරණි දේවස්ථානය වෙනුවට නව දේවස්ථානයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරන ලදී. ඒ අනුව, නාවික හමුදාධිපතිතුමා විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට සිය එකඟතාවය පළ කරන ලදී. ඒ අනුව, මෙම දේවස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය පසුගිය වසරේ මැයි මස 9 වන දින උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඉතාමත් කෙටි කාලයක් තුළ ඉදිකරන ලද නව ශාන්ත අන්තෝනි දේවස්ථානය 2016 දෙසැම්බර් මස 23 වන දින නාවික හමුදාධිපතිතුමා විසින් යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත ප්රදානය කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකරන ලද ඩෙල්ෆ් ජැටිය සහ කච්චතිව් ජැටිය විවෘත කොට මහජනතාවගේ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමට ද පියවර ගෙන ඇත. මීට අමතරව, නල්ලිනක්කපුරම් ගම්මානයේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා වූ ජල අර්බුදයට විසදුමක් වශයෙන්, ජලය බෙදා දීමේ ව්‍යාපෘතියක්ද මෙම උත්සවයට සමගාමීව විවෘත කිරීමට කටයුතු සුදානම් කොට තිබිණි.
කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගී වූ බැතිමතුන් හට අවශ්‍ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම සහ විදුලි බල පහසුකම් සලසා දීම නාවික හමුදාව මගින් සිදු කරන ලදී. එමෙන්ම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරයකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවික හමුදාව පියවර ගෙන තිබුණි.

















