නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 13 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී ඩයිනමයිට් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, GPS යන්ත්‍රයක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගල් 2 ක්, මුහුණු ආවරණයක්, මීටර් 225 ක දිගකින් යුත් මාළු දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 766 ක් පමණ ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (14) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී ජෙලට්නයිට් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 2 ක්, GPS යන්ත්‍ර 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගල් 8 ක්, මුහුණු ආවරණ 9 ක්, මාළු දැල් 9 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 2475 ක් එහිදී අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කරන ලදී.






