තංගල්ල නව නාවික නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් තංගල්ල පරණ උසාවි ගොඩනැගිල්ල නවීකරනය කරමින් ස්ථාපනය කරන ලද නාවික නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.
මෙම ගොඩනැගිල්ල නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ තාක්ෂණික දැනුමින් සහ ශ්‍රමදායකත්වයෙන් නවීකරනය කරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය නාවික හමුදාව විසින් සපයන ලදී. 2014 මැයි මස 16 වන දින මෙහි වැඩ කටයුතු ආරම්භ කරන ලද අතර, රුපියල් මිලියන 4.5 කට අධික මුදලක් වැය වී ඇත. මෙම නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව නවීන පහසුකම් සහිත කාමර 6 කින් සමන්විත වේ.
මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ධම්මික ඩයස් මහතා ඇතුළු දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් සහභාගි විය. තවද මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.










