ශ්‍රී ලංකා සහ ඇමරිකානු මැරීන් සෙබළුන් අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහන් කිහිපයක් පැවැත්වෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘කොම්ස්ටොක්’ යුද නෞකාව දින 4 ක පුහුණු සංචාරයක් සඳහා ඊයේ (27) කොළඹ වරායට සේන්දු විය. ඒ අනුව ‘කොම්ස්ටොක්’ නෞකාවට අනුයුක්ත මැරීන් සෙබළුන් සමග එ්කාබද්ධව ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භටයන් සහ වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින් විශේෂ පුහුණු වැඩසටහන් කිහිපයක් අද (28) පැවැත්විණී.
මෙහිදී ප්‍රථමයෙන් දෙරටේ මැරීන් සෙබළුන් විසින් කොළඹ වරාය පරිශ්‍රයේදී උදෑසන ශාරීරික අභ්‍යාසයන්හී නිරත වන ලදී. පුහුණු වැඩසටහන් මාලාවේ පළමු අධියර ලෙස ඇමරිකානු මැරීන් බළකා සෙබළුන් විසින් ‘කොම්ස්ටොක්’ යුද නෞකාවේදී මෙහෙයුම් සඳහා භාවිතා කරන යාත්‍රා සහ රථ වාහන පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් භටයන් දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව අවි රහිත සටන් ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ක්‍රියාකාරකම් කිහිපයක්ද මෙහිදී සිදු කෙරිණි.
තවද ඛණ්ඩ අවි පුහුණුව යටතේ ඇමරිකානු මැරීන් බළකා සෙබළුන් විසින් මූලික අවි හැසිරවීම, අවි සරඹ පිළිබඳව මෙරට මැරීන් සෙබළුන් දැනුවත් කෙරුණු අතර, භූමියේ ගමන් කිරීම පිළිබඳ ක්‍රියාකාරකම් සහ දැනුවත් කිරීමක් ද මෙයට සමගාමීව සිදු කරන ලදී. මෙම වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා මැරීන් බළකායට අයත් නිලධාරීන් 05 දෙනෙකු සහ නාවිකයන් 146 දෙනෙකු සහභාගි විය.
ඇමරිකානු මැරීන් බළකායට අනුයුක්ත වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින් විසින් තුවාලකරුවන්ට ලබා දෙන ප්‍රථිකාර සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ වැඩසටහනක්ද කොළඹ නාවික හමුදා රෝහලේදී සිදු කරන ලදී. මේ සඳහා නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින් 25 දෙනෙකු සහභාගී විය.
අද දින පැවැත්වුණු ඒකාබද්ධ පුහුණු සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් වලට සමගාමීව කොළඹ නගර ආශ්‍රීත ප්‍රදේශයේ පැවති ප්‍රජා සත්කාර වැඩසටහන් කිහිපයකට ද, ඇමරිකානු මැරීන් භටයින් සහභාගී විය. ඉන් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනක් රත්මලාන ගොළුමඩම ප්‍රදේශයේ පිහිටි බිහිරි විදුහලේ පැවැත් වූ අතර, එහිදී ඔවුන් එම විදුහල පිරිසිදු කර තීන්ත අලේප කරන ලදී.
දෙරටේ මැරීන් බළකා අතර, පුහුණු සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් කිහිපයක් 30 වන දින තෙක් පැවැත් වීමට නියමිත අතර, අනතුරුව ‘කොම්ස්ටොක්’ නෞකාව මෙම මස 31 වන දින මෙරටින් පිටත් වීමට නියමිතය.












