දක්ෂතා දැක්වූ කාන්තා නාවිකයන්හට නාවික හමුදාධිපතිතුමාගෙන් පැසසුම්
පසුගිය 17 වන දින සිට 19 වන දින දක්වා මැලේසියාවේ පැවති බෝනියෝ - 7 කාන්තා රග්බි තරඟාවලියේ කුසලාන ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. එම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නාවිකයන් 5 දෙනෙකු සහභාගී විය.
තවද, පසුගිය වසරේ (2016) දෙසැම්බර් මස 10 වන දින පැවති ජාතික කඹ ඇදීමේ ශූරතාවලියේ සහ අගෝස්තු මස 5 වන දින පැවති ආරක්ෂක සේවා කඹ ඇදීමේ ශූරතාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීමට නාවික හමුදා කාන්තා කඹ ඇදීමේ කණ්ඩායම සමත් විය.
ඒ අනුව, එම දක්ෂතා දැක්වූ කාන්තා නාවිකයන් අද (30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී, නාවික හමුදාධිපතිතුමා විසින් ඔවුන් දැක්වූ දක්ෂතාවයන් පිළිබඳව සිය සතුට පළ කර අතර, එමගින් නාවික හමුදාවට අත්කර දුන් කීර්තිය පිළිබඳව සිය ප්‍රශංසාවද ඔවුන් වෙත පිරිනමන ලදී. එම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද නාවික හමුදාධිපතිතුමා අතින් සිදු කෙරිණි.




