ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ටෙරුසුකි නෞකාව කොළඹ වරායට පැමිණේ
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ටෙරුසුකි’ නෞකාව සුහදතාවය වර්ධනය කරගැනීම හා පුහුණු සංචාරයක් සඳහා අද (1) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව, හයවන ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී, කපිතාන් මෂාශි කොන්ඩො මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් සෙයිචි හෂිමොටෝ මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. එහිදී ඔවුන්, ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව, වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කරගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නාවික අභ්‍යාසයන් කිහිපයක ද නිරතවීමට ද නියමිතය.
තවද, පසුගිය වසරේ (2016) ඔක්තෝබර් මස 7 වන දින ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත්, ‘කෂීමා’ ‘සෙටොයුකි’ සහ ‘අසගිරි’ යන නෞකාවන් ත්‍රිත්වය මෙන්ම, ජූලි මස 24 වන දින ‘ඉනසුමා’ සහ ‘සුසුට්සුකි’ යන නෞකාවන් ද්විත්වය සහ දෙසැම්බර් මස 4 වන දින ‘කිරිසමෙ’ යන නෞකාව ද ප්‍රධාන වශයෙන් සුහදතාවය වර්ධනය කර ගැනීමේ, සැපයුම් අවශ්‍යතා ලබා ගැනීමේ සහ පුහුණු අභ්‍යාසයන් සිදු කිරීමේ අරමුණින් කොළඹ වරායට පැමිණ ඇත.







