ඩැනීලා නෞකාවේ ගින්න මැඩපැවැත්වීමට ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විශාල මෙහෙයක් ඉටු කරයි
ඩැනීලා නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා මේ වන විට ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල සහයෝගයක් ලබා දෙන ලදී.
ඒ අනුව, ඉන්දියානු වෙරළාරක්ෂක ශූර් නෞකාව අඛණ්ඩව තෙවන දිනටත් නෞකාවේ ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය දැක්වීය. එම ගින්න පැතිරීයාමත් සමඟ එය කඩිනමින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මගින් සහාය ඉල්ලා ඇත. එම ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඒ වන විටත් සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබූ වෙරළාරක්ෂක ශූර් නෞකාව ගින්න නිවීමේ මෙහෙයුම් කටයුතු සඳහා පිටතක් කර යැවීමට කටයුතු කරන ලදී.
තවද, දකුණු මුහුදු තීරයේ මුර සංචාරක කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව ද එම කර්තව්‍ය සඳහා සහභාගී විය.
ඊට අමතරව, ඉන්දියානු නාවික හමුදාව ඔවුන්ගේ නෞකාවන් 2 ක් වන දර්ශක් සහ ගැරියර් යන නෞකාවන් ද ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා පිටත් කර යවන ලදී.
මේ වන විට, මෙම නෞකාවේ බහාලුම් අතරින් ඝණ දුමාරයක් නිකුත් වෙමින් පවතින අතර, ගිනි නිවීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානය ද අද (6) පෙරවරුවේ නෞකාවේ ගින්න නිවීමේ කටයුතු සඳහා සහාය දැක්වීය.
පසුගිය 4 වන දින කොළඹ වරායට නාවික සැතපුම් 120 ක් පමණ දුරකින් යාත්‍රා කරමින් තිබූ ඩැනීලා නම් බහාලුම් නෞකාවේ ඇති වූ ගින්නක් සම්බන්ධයෙන්, නෞකාවේ දේශීය නියෝජිතවරයා විසින් ප්‍රථම වරට සමුද්‍රීය මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇත.






















