නාවික හමුදාධිපතිතුමන් බ්‍රසීල නාවික හමුදා සබ්මැරීන් බලඇණියේ සහ විශේෂ යාත්‍රා බලඝණයේ සංචාරයක නිරත වෙයි
මේ දිනවල බ්‍රසීලයේ පැවැත්වෙන ලතින් ඇමරිකානු අභ්‍යාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශණයට (LAAD - 2017) සහභාගී වී සිටින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (7) බ්‍රසීල නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සහ දිය යට සංග්‍රාමික පුහුණු පාසලේ සංචාරයක නිරත විය.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘවරයා වන වත්මන් නාවික හමුදාධිපතිතුමන් බ්‍රසීල විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේ නාවික පුද්ගලයින්ගේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් ද සිය අවධානය යොමු කරන ලදී. එහිදී, එතුමා එම පුහුණු පාසලේ පුහුණුව ලබන නාවික පුද්ගලයින් සමග කෙටි පුහුණු අභ්‍යාසයක් සඳහා ද එක්විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු යුද අත්දැකීම්, වෘත්තීමය හැකියාවන්, ඉන්දියන් සාගරය ආශ්රිත දිය යට සංග්රාම, ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ මෙහෙයුම් පිළිබඳව මෙන්ම බ්‍රසීල භූ ජල තරණ සහ හමුදාවන්ගේ කිමිදුම් මෙහෙයුම් පිළිබඳව නාවික හමුදාධිපතිතුමා ඔවුන් සමග සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සඳහා බ්‍රසීල නාවික හමුදාවේ සබ්මැරීන් බලකා ආඥාපති, රියර් අද්මිරාල් ඔස්කාර් ද සිල්වා ෆිල්හෝ මහතා, බ්‍රසීල විශේෂ යාත්‍රා බලඝණ සහ දිය යට සංග්‍රාමික පුහුණු පාසල්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි.
ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් බ්‍රසීල නාවික හමුදාවට අයත් ටිම්බිරා සබ්මැරීනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන ලදී. එහිදී බ්‍රසීල කිමිදුම් සටන් අණදෙන නිලධාරී, කොමාණ්ඩර් මාර්ටින් මහතා විසින් එහි ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් සූදානම පිළිබඳ සවිස්තරාත්මක විස්තර කිරීමක් නාවික හමුදාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් ද සමරු තිළිණ හුවවාරුවක් සිදු කරන කෙරිණි.
තවද, නාවික හමුදාධිපතිතුමා විසින් බ්‍රසීල නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ නාවික පුද්ගලයින් හට ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් ක්‍රියාත්මක කරනු ලබන අසමමිතික යුද සංග්රාම පිළිබඳ පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා ආරාධනා කරන ලද අතර, එමගින් දැනුම් සහ අත්දැකීම් රාශියක් හුවමාරු කර ගත හැකි බවද එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී.







