සේවා වනිතා අලුත් අවුරුදු පොළ 2017 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ වාර්ෂිකව පවත්වනු ලබන අලුත් අවුරුදු පොළ මෙවරත් අද (8) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහභාගී වූ අතර, විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, වසන්තා ගුණවර්ධන මහත්මිය සහභාගී විය. එමෙන්ම, අනෙකුත් සම්භාවනීය අමුත්තන් වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ප්‍රියන්වදා ගුණවර්ධන මහත්මිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ලක්ෂ්මී පල්ලේගම මහත්මිය ද සහභාගී වී සිටියහ. තවද, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සභාපති, සත්‍යජිත් විජේගුණරත්න ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් ද සහභාගී වී සිටියහ.
සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රය, ප්‍රධාන ආරාධිත අමුත්තා, විශේෂ ආරාධිත අමුත්තා, අනෙකුත් සම්භාවනීය අමුත්තන්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව අලුත් අවුරුදු පොළ ආරම්භ කෙරිණි.
අලුත් අවුරුදු පොළ 2017 වෙළඳ කුටි සඳහා වියළි ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, පාවහන්, එළවළු, පළතුරු, පැල වර්ග සහ අනෙකුත් ගේ දොර අවශ්‍ය ද්‍රව්‍ය සහනදායී මිලකට අලෙවි කරන ලදී. වෙවර පොළ සඳහා වෙළඳ කුටි ඉදිරිපත් කිරීමට ඉල්ලුම් කරන ලද සිවිල් පුද්ගලයින් හටද ඔවුන්ගේ භාණ්ඩ අලෙවි කිරීමට අවස්ථාව උදා කර දීමට සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් අවස්ථාව සළසා දෙන ලදී. නිලධාරීන් සහ නාවිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් අලුත් අවුරුදු පොළ සඳහා එක් වී සිටියහ.
විශේෂයෙන්ම, සටනේදී තුවාල වූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් විශේෂ වෙළඳ කුටියක් ස්ථාපනය කර ඔවුන්ට අපහසුවකින් තොරව සිය අවශ්‍යතාවයන් මිලදී ගැනීමට අවස්ථාව එහිදී උදා කර දී තිබිණි. තවද, විශ්‍රාමික නාවික හමුදා කාන්තා සංගමය වෙත විශේෂ වෙළඳ කුටියක් ලබා දී ඔවුන්ගේ නිශ්පාදන ඉතා පහසුවෙන් අලෙවි කිරීමට ද සේවා වනිතා ඒකකය කටයුතු යොදා තිබිණි. එමෙන්ම මෙම අවුරුදු පොළ සඳහා සහභාගී වූ පුද්ගලයින් වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමක් ද සිදු කරන ලදී.
මෙම අවස්ථාව සංගීතයෙන් වර්ණවත් කිරීම සඳහා නාවික හමුදා බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් සුමයුරු සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී. ගායන හැකියාවන්ගෙන් යුක්ත නාවික පුද්ගලයන් හට සහ පැමිණ සිටි නාවික හමුදා පවුල් වල සාමාජික සාමාජිකාවන් හටද එහිදී ගීත ගායනා කිරීමට ද අවස්ථාව උදා කර දීමට සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය කටයුතු කර තිබිණි.
සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව, අලුත් අවුරුදු පොළ මගින් භාණ්ඩ ලබා ගත් නාවික හමුදා පවුල් වල සාමාජික සාමාජිකයන් සියළු දෙනා හට ඒවා තම නිවස්නයන් කරා රැගෙන යාමට පහසු වන පිරිදි විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට ද කටයුතු කර තිබිණි.
තවද, මෙම අලුත් අවුරුදු පොළට සමගාමීව අනෙකුත් නාවික විධානයන් හි නාවික පවුල් වල සාමාජික සාමාජිකාවන් සඳහා නැගෙනහිර නාවික විධානයේ, ත්‍රිකුණාමලය තිස්ස නාවික හමුදා කදවුරේ සහ දකුණු නාවික විධානයට අයත් ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ යන ආයතයන්හි ද විශේෂ වෙළඳ කුටි ස්ථාපනය කර තිබිණි.
ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ පැවති සේවා වනිතා අලුත් අවුරුදු පොළ






























ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයේ පැවති සේවා වනිතා අලුත් අවුරුදු පොළ







ශ්‍රීලංනානෞ දක්ෂිණ ආයතනයේ පැවති සේවා වනිතා අලුත් අවුරුදු පොළ








