අසමමිතික යුද සංග්රාම පාඨමාලාවේ සහතික පත් ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මගින් 2017 ජනවාරි මස 9 වන දින සිට අප්‍රේල් 6 වන දින දක්වා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පවත්වනු ලැබූ 5 වන අසමමිතික යුද සංග්රාම පිළිබඳ පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්රදානය කිරීම සහ නිල ලාංඡන පැලඳවීමේ උත්සවය ඊයේ (6) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය. එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් සිරිමෙන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අසමමිතික යුද අත්දැකීම් විදේශීය හමුදා සාමාජිකයින් සමග හුවමාරු කර ගැනීම පිළිබඳව සිය සතුට මෙම අවස්ථාවේදී පළ කරන බවයි. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව සතුරු අභියෝග හමුවේ ශක්තිමත්ව නැගී සිටි ආකාරය පිළිබඳව ද එතුමා එහිදී සිහිපත් කරන ලදී.
තවදුරටත් අදහස් දැක්වූ එතුමා, මෙම පාඨමාලාව තුළින් ලබා ගත් අත්දැකීම් සහ දැනුම යහපත් කාර්යයන් උදෙසා ප්‍රයෝජනයට ගන්නා මෙන් ද ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශේෂ යාත්‍රා බලඝණය මෙම පාඨමාලාව සඳහා පූර්ණ දායකත්වය ලබා දුන් අතර, ඒ සඳහා බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, මාලදිවයින, නෙදර්ලන්තය, නයිජීරියාව සහ පාකිස්තානය යන රටවල් නියෝජනය කරමින් හමුදා පුද්ගලයින් 20 දෙනෙකු සහභාගී වී සිටියහ. මීට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකු ද එම පාඨමාලාව හැදෑරීමට එක් විය.
මාස 3 ක් මුළුල්ලේ පැවති මෙම පාඨමාලාවේදී අවි පුහුණුව, වෙඩි පුහුණුව, කුඩා කණ්ඩායම් මෙහෙයුම්, කැලෑබද සටන්, රහසිගත සාගරික මෙහෙයුම්, කුඩා යාත්‍රා හැසිරවීම, ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස සහ අනතුරකදී මුහුදේ සිට දිවි බේරා ගන්නා ආකාරය යන ක්‍රියාකාරකම් සිදු කරන ලදී.
මෙම සහතික පත් ප්රදානය සහ ලාංඡන පැලඳවීමේ උත්සවය සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නෙදර්ලන්ත ආරක්ෂක උපදේශක තුමන්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය 1993 වර්ෂයේදී, එවකට ලුතිනන් කොමාණ්ඩර් නිලයේ සිටි වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.










