ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධ ජල මානක සමීක්ෂණයක නිරත වෙයි
ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධව මේ වන විටත් ජල මානක සමීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් සමීක්ෂණ නෞකාවන් වන දර්ශක් නෞකාව ද එක්වී ඇත. පසුගිය මාර්තු මස 30 වන දින ආරම්භ කරන ලද මෙම සමීක්ෂණ කටයුතු අධියර 3 ක් යටතේ පැවැත්වීමට නියමිතව ඇති අතර, එය මැයි මස 11 වන අවසන් කිරීමට කටයුතු යොදා ඇත.
මෙහි මූලික අධියරේ සමීක්ෂණ කටයුතු වලින් අනතුරුව දර්ශක් නෞකාව ඊයේ (11) ගාල්ල වරායට සේන්දු විය. ඉන් අනතුරුව, නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් පෙවුෂ් පවුසි මහතා දකුණු නාවික විධානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවී සුහද කතාබහක නිරත විය.
මෙම ඒකාබද්ධ සමීක්ෂණයේ දෙවන අධියර අප්‍රේල් මස 14 වන දින ආරම්භ කිරීමට නියමිතව ඇත. එමෙන්ම, පසුගිය දින හදිසි ගිනි ගැනීමකට ලක් වූ ඩැනීලා නම් බහාලුම් නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බලකායත්, දර්ශක් නෞකාවත් ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල සහායක් දක්වන ලදී.
මෙම ඒකාබද්ධ සමීක්ෂණයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ආවරණය වන නාවික සිතියම් යාවත්කාලීන කිරීමයි. (කොළඹ සිට සංගමන්කන්ද දක්වා) එමගින්, මුහුදේදී ජීවිත ආරක්ෂා කර ගැනීම පිළිබඳව (SOLAS) 1972 සම්මුතිය ප්‍රකාරව නෞකා සහ යාත්‍රා මගින් ගමන් කිරීමේදී ආරක්ෂාව තහවුරු කර ගැනීම අපේක්ෂා කෙරේ. 1972 සම්මුතියට අනුව අපගේ සාගර කලාපයේ යාත්‍රා කරන නෞකාවන්ගේ සහ නාවිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අනිවාර්ය්ය කරුණක් වේ.











