ඕස්ට්‍රේලියානු ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට
ඕස්ට්‍රේලියානු රජයට අයත් ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාව අද (16) දෙදින නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව ත්‍රිකුණාමලය වරායේ අශ්රොෆ් ජැටිය වෙත පැමිණීමෙන් අනතුරුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක ද නිරත විය. එහිදී, නෞකාවේ ඒකාබද්ධ කාර්යංශ කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී, එයාර් වයිස් මාෂල් ස්ටීවන් ඔස්බෝර්න් මහතා විසින් නෞකාවේ මෙහෙයුම් හා සැකැස්ම පිළිබඳව එම නිලධාරීන් දැනුවත් කරන ලදී.
ඉන් අනතුරුව නෞකාවේ නියෝජිතයින් පිරිස නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා මුණ ගැසිණි. එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචසන් මහතා, ඕස්ට්‍රේලියානු සාගරික දේශ සීමා බලකායේ නියෝජ්‍ය ආඥාපති, කොමාණ්ඩර් ජෝ කෲක්ස් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් ජේසන් සියර්ස් මහතා සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.












