ඕස්ට්‍රේලියානු ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාවේ පිළිගැනීමේ උත්සවයක්
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක නෞකාවක් වන ඕෂන් ශීල්ඩ් නෞකාවේදී ඊයේ (16) උණුසුම් පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි. මෙම පිළිගැනීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහභාගී විය.
එහිදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉතා උණුසුම් අයුරින් නෞකාව වෙත පිළිගන්නා ලදී. එම අවස්ථාවේදී ඔවුන් නෞකාවේ කාර්යය මණ්ඩලය සමග සුහද පිළිසඳරක නිරත වූ අතර, විශේෂ දේශණ කීපයක් ද පැවැත්විණි. තවද, එම අවස්ථාව වර්ණවත් කරමින්, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දැක්වෙන අයුරින් නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම සහ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් අලංකාර නර්ථන අංග සහ වාදනයන් ද ඉදිරිපත් කරන ලදී.
නැගෙනහිර පලාත් ආණ්ඩුකාර, ගරු ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචසන් මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා සහ නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් පෙරේරා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එම පිළිගැනීමේ උත්සවය සඳහා සහභාගී වී සිටියහ.







