28 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සයුර නෞකාවේදී පවත්වයි
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (19) කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව තුළ පවත්වන ලදී.
උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ප්‍රධානත්වය දරන ලද ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්යක්ෂ කොමදෝරු සුජීව පෙරේරා මහතා සහ අධ්යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු කලණ ජිනදාස මහතා ඇතුලු නිලධාරීන් 10 දෙනෙකු සහභාගි විය. ඉන්දීය නියෝජිතයින් පිරිසට තමිල්නාඩු කළාපය භාර ධජ නිලධාරී රියර් අද්මිරාල් අලෝක් භාත්නගර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 7 දෙනෙකු සහභාගී විය. දෙපාර්ශයෙහිම නිලධාරීන් විවිධ අංශයන්හි විශේෂ සුදුසුකම් සහිත අයවලුන් වූහ.
මෙම වාර්ෂික සමුළුව, දෙරටෙහි නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් අතර අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබයි. 28 වන වරටත් පවත්වන ලද මෙම සමුළුවේදී; අන්තර් සහයෝගීතාවය තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.






