ජාතික රණවිරු සැමරුම් උළෙල ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
2017 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද එක්විය.
රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය මෙවර පවත්වනු ලබන්නේ 8 වන වරටය. සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන්, ගරු අමාත්‍යවරුන්, ප්‍රභූ පුද්ගලයින්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, සිවිල් ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල්තුමන් ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.
තවද, සටන් පවතින කාල සීමාව තුළදී සතුරු ප්‍රහාරයකට ලක්ව තම මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය පුද කළ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා ලෙස ඉතිහාසයට එක්වී සිටින අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු මහතාගේ ආදරණීය බිරිඳ ද මෙම අවස්ථාවට එක් වූවාය. එතුමිය විසින් ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. එමෙන්ම, සටනේදී මියගිය සහ අතුරුදහන් වූ නාවික රණවිරුවන් 110 දෙනෙකුගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ මව්බිමට තිරසාර සාමයක් උදාකරලීම වෙනුවෙන් කැපවුණු රණවිරුවන්ගේ සේවය අගය කරන බවයි. එසේම, රණවිරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කීරීම පිණිස රජය විසින් සුභසාධක ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර ඇති බවද එතුමන් සදහන් කරන ලදී. මෙහිදී තව දුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමන්, මුහුදේ මෙන්ම ගොඩබිමේ රාජකාරි නිරත නාවිකයන් මත් ද්‍රව්‍ය උවදුර මැඩලීම උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ග ඉතා ඉහළින් අගය කරන බවද ප්‍රකාශ කළේය.
තවද, ආපදා අවස්ථාවන් හිදී සන්නද්ධ හමුදා සාමාජිකයින් ඉටුකරනු ලබන සුවිශේෂී මෙහෙය සම්බන්ධයෙන්ද සිය ප්‍රසාදය පල කරන බවද එතුමා ප්‍රකාශ කළේය. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම උදෙසා සිය දායකත්වය සපයන ලද සියලුම රණවිරුවන් හට සිය ගෞරවාන්විත ප්‍රණාමය ද පුද කර සිටියේය.
මෙම අවස්ථාව සඳහා, ගරුතර මහා සංඝරත්ණය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ප්‍රභූ පුද්ගලයින්, රණවිරු සේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු සිවිල් ජනතාව විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.





























