බද්දේගම, වක්වැල්ල පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්
නාවික හමුදාව මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම වක්වැල්ල පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් වල නිරත වෙමින් සිටී. ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල සහ තෙලිකඩ යා කරන වක්වැල්ල පාලමේ යට කොටස, පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන් සිරවී ජලය බැස යාමට නොහැකි තත්ත්වයට පත් වී ඇත. එම හේතුව නිසා ඊයේ (27) රාත්‍රී වන විට ගිං ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් බද්දේගම අවට ප්‍රදේශයට තව දුරටත් ජල ගැලීමේ අවධානමක් පැවතිණි.
මෙම අවධානම් තත්ත්වය සැළවූ විගස ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 73 දෙනෙකු එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
වක්වැල්ල පාලම, ගාල්ල සහ බද්දේගම ප්‍රධාන මාර්ගය යා කරනු ලබන දකුණු පලාතේ ඇති දිගම පාලම ලෙස සැළකේ. බද්දේගම ප්‍රදේශයේ සහ ඒ අවට ජල ගැල්මක් ඇති වූ අවස්ථාවක ගාල්ල ප්‍රධාන මාර්ගය වෙත කඩිනමින් ඇතුල්වීම සඳහා ඇති පහසුම සහ ප්‍රධානතම පිවිසුම් මාර්ගය වන්නේ ද මෙම පාලමයි.
තවද, අද (28) උදෑසන සිට බද්දේගම නගරය ආසන්නයේ ඉදිකර ඇති බැම්මේ ස්ථාන කීපයකින් ජලය කාන්දුවීමක් නිරීක්ෂණය වී ඇති අතර, එම බැම්ම පිළිසකර කිරීමේ කටයුතු සහ ආරක්ෂාකාරී ප්‍රදේශයන් කරා ජනතාව රැගෙන යාමට නාවික හමුදා ආපදා සහණ කණ්ඩායම් යොදවා ඇත. මේ සදහා නාවික භට පිරිස් 300 ක් පමණ අනුයුක්ත කර ඇත.












