විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් තවත් නෞකාවක් කොළඹට
ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් ආපදාවට ලක් වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ශර්දුල් නෞකාව අද (28) දහවල් කොළඹ වරායට සේන්දු විය. ඒ අනුව මෙම අපදා සඳහා සහන සැළසීමට පැමිණි දෙවන නෞකාව ලෙස මෙය හැදින්විය හැක. නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් රොහිත් මිෂ්රා මහතා කටයුතු කරනු ලබයි.
ඊයේ (27) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඉන්දියානු සංචාරය තුළදී සිදු කළ විශේෂ ඉල්ලීමක් මත මෙම නෞකාව සහ තවත් කුඩා යාත්‍රා 4 ක් කොළඹ වරායට පැමිණ ඇත. එහි වෛද්‍යවරුන් 3 දෙනෙකු, වෛද්‍ය සහයකයන් 6 දෙනෙකු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහ කිමිදුම් කරුවන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ තවත් ජීවිතාරක්ෂක කණ්ඩායම් කීපයක් ද පැමිණ ඇත. ඒ අනුව නිලධාරීන් 27 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක්, වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, කූඩාරම් සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් මෙම නෞකාවන් මගින් රැගෙනවිත් ඇත.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමාසරිස් අතිගරු තරන්ජිත් සිං සන්ධු මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින අන්‍යේන්‍ය සුහදත්වය සහ දෙරටේ නාවික හමුදාවන් අතර පවතින අන්තර් සහයෝගීත්වයේ ප්‍රථිපලයක් වශයෙන් මෙම සහනාධාර රැගත් නෞකාවන් ශ්‍රී ලංකාව වෙත පිටත් කර යැවීමට ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමා තීරණය කර ඇත. එමෙන්ම තම අසල්වැසි රාජ්‍යයට බලපෑ මෙම ස්වාභාවික ව්‍යයසනය සැළවූ වහාම ඊයේ (27) ඉන්දියානු නාවික හමුදාවට අයත් කර්ච් නෞකාව ආපදා සහණ රැගෙන මෙරටට පැමිණෙන ලදී. තවද, හෙට (29) දිනයේදී සහනාධාර රැගත් තවත් ඉන්දීය නාවික නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇත.




















