සහනාධාර රැගත් තුන්වන ඉන්දියානු නෞකාව කොළඹ වරායට
පසුගිය දින කීපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහයපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් වී සිටින ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ජලෂ්වා නෞකාව අද (30) කොළඹ වරායට සේන්දු විය. ඉන්දියානු සහනාධාර රැගත් කොළඹ වරායට පැමිණි තුන්වන නෞකාව මෙය වේ. නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ටීවී සුනිල් මහතා කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් පසුගිය 27 වන දින සිදු කළ ඉංදියානු සංචාරය අතරතුරදී කළ විශේෂ ඉල්ලීමක් මත මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇත. ජලෂ්වා නෞකාව සතු කුඩා යාත්‍රා 6 ක්ද ආපදා සහන කටයුතු සඳහා යොදා ගනු ඇත. තවද වෛද්‍ය කණ්ඩායම් 3 ක් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් 4 ක්ද නෞකවේ කාර්යය මණ්ඩලයට අතුළත් වේ. ඒ අනුව නිලධාරීන් 33 දෙනෙකුගෙන් සහ නාවිකයින් 341 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් මෙම නෞකාව සතුය. වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, කූඩාරම් සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් සහනාධාර වශයෙන් මෙම නෞකාව මගින් රැගෙනවිත් ඇත.
මෙම නෞකාව පිළිගැනීම සඳහා ජනාධිපති ලේකම් ගරු පීබී අබේකෝන් මහතා සහ එම මැතිණිය, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමාසරිස් අතිගරු තරන්ජිත් සිං සන්ධු මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ දෙරටේ නාවික හමුදාවන් අතර පවතින අන්තර් සහයෝගීත්වය මෙම සහන නෞකාවන් මෙරටට පැමිණීමෙන් මනාව පිළිබිඹු වේ. එමෙන්ම, පසුගිය 27 වන දින ඉන්දියානු නාවික හමුදාව කර්ච් නෞකාව ද, ඊයේ (29) දිනයේ ශර්දුල් නෞකාව ද විශාල සහනාධාර ප්‍රමාණයන් රැගෙන කොළඹ වරායට පැමිණෙන ලදී.















