සහනාධාර රැගත් පාකිස්තානු නාවික නෞකා සුල්ෆිකර් කොළඹ වරායට
අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා සහනාධාර රැගත් පාකිස්තානු නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව අද (30) සවස කොළඹ වරායට සේන්දු විය.
නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් , ෆයිසාල් ජාවිඩ් මහතා කටයුතු කරනු ලබන අතර, එහි නැව් මුළුව නිලධාරීන් 46 දෙනෙකුගෙන් සහ නාවිකයන් 241 දෙනෙකුගෙන් සමන්විත වේ. ආපදා සහන සැළසීම සඳහා වෛද්‍ය කණ්ඩායම් 3 ක්ද නෞකාව සමග පැමිණ ඇත. වියලි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල් සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් නෞකාව මගින් දිවයිනට රැගෙන එන ලදී.
මෙම නෞකාව පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා, ශ්‍රී ලංකාවේ පාකිස්තානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය, සෆ්රාස් අහ්මඩ් ඛාන් සිප්රා මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
සහනධාර රැගත් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ දෙරටේ නාවික හමුදාවන් අතර පවතින අන්තර් සහයෝගීත්වය මනාව පිළිබිඹු කිරීමක් වශයෙන් හැදින්විය හැක. සුහද සංචාරයක් සඳහා සුල්ෆිකර් නෞකාව පසුගිය 4 වන දින ද ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. ගංවතුර සහ නාය යෑම් වලින් අවතැන් වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා තවත් විදේශීය නෞකාවන් කීපයක් ඉදිරි කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.













