චීන රජයට අයත් නාවික නෞකා 3 ක් කොළඹ වරායට
චීන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් අද (31) දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාව මේ දින වල මුහුණ පා තිබෙන අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ ඔවුන් මෙරට ජනතාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් වූහ. ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් පහක් (5) සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක් දිවයින පුරා විපතට පත් ජනතාව උදෙසා සහන සැළසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කටයුතු කිරීමට නියමිතය.
චීන නාවික හමුදාවේ ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන් මෙසේ දිවයිනට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී. මෙම නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වශයෙන් කපිතාන් හූ ජයි, කපිතාන් වොන්ග් හොන්ග්බින් සහ කපිතාන් ෂොව් බෝජුන් යන නිලධාරීන් කටයුතු කරනු ලබයි. චැන් චුන් නෞකාවේ නිලධාරීන් 100 ක් ඇතුළුව නාවිකයන් 200 දෙනෙකු සහ ජින් ශොව් නෞකාවේ නිලධාරීන් 50 දෙනෙක් සමග නාවිකයන් 178 දෙනෙකු රාජකාරී සිදු කරති. චාඕ හු නෞකාව ද නිලධාරීන් 54 ක් සමග නාවිකයන් 133 දෙනෙකු සමගින් ශ්‍රී ලංකාවට පැමිණියහ.
නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් බටහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. එහිදී ඔවුන් නිල සංචාරය පිළිබඳව සහ ඉදිරි ක්‍රියාකාරකම් මෙන්ම, විපතට පත්වූවන් හට ආපදා සහන කටයුතු සැළසීම සම්බන්ධයෙන් සුහද පිළිසදරක නිරත විය. මෙම අවස්ථාවන් සඳහා මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, අතිගරු යි ශියෑන්ලියෑන් මහතා, නාවික හමුදා මූලස්ථානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා ඇතුළු නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි. තවද, නෞකාවන් පිළිගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින චීන ජාතිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද එක්වී සිටියහ.
ඉන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (31) සවස එම නෞකාවන්හි චාරිකාවාරයක නිරත විය. එහිදී චීන රජය විසින් ආපදා සහණ සඳහා මෙරටට රැගෙන එන ලද කුඩා යාත්‍රා සහ සහනාධාර විශාල ප්‍රමාණයක් නිල වශයෙන් නාවික හමුදාධිපතිතුමා වෙත පිරිණමන ලදී. දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය මනාව විදහාපාන ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙය සනිටුහන් වනු ඇත.




























