ඕස්ට්‍රේලියානු සහනාධාර නාවික හමුදාවට භාර කෙරේ
ශ්‍රී ලංකාවට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැළසීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මගින් පරිත්‍යාග කරන ලද ආපදා සහන යාත්‍රා සහ අනෙකුත් උපකරණ නාවික හමුදාවට භාර දීම අද (1) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරුණි.
ඒ අනුව එම සහනාධාර තොගය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු බ්‍රයිස් හචිසන් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා වෙත පරිත්‍යාග කරන ලදී. විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එසේ ලද කුඩා බෝට්ටු 5 ක්, පිටත දහන යන්ත්‍ර 5 ක් සහ අනෙකුත් උපකරණ තොගය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත භාර දීම එහිදී සිදු කෙරිණි.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක, කපිතාන් ජේසන් සියර්ස් මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශවීය සබඳතාව මනාව පිළිබිඹු කිරීමක් වශයෙන් මෙම සහනාධාර තොගය පරිත්‍යාග කිරීම සදහන් කළ හැකි අතර, අද (1) සවස තවත් මෙවැනිම සහනාධාර තොගයක් ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිතව ඇත.











