සහන සේවාවන් සඳහා දායක වූ නාවික පුද්ගලයින්ට නාවික හමුදාධිපති තුමන්ගේ ප්‍රසාදය
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළු නාවික පුද්ගලයින් හට ඔවුන් දක්වන ලද මෙහෙවර වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඇගයීමට ලක් කෙරුණි. අද දින (ජූනි 05) උදෑසන කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයේදී ඔවුන් වෙත සහතිකපත් හා පදක්කම් ප්රදානය සිදු කෙරුණි.
මෙම උත්සවයේදී නාවික හමුදාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ගං වතුරින් සහ නාය යෑම් වලින් ජීවිත අහිමි වූවන් සහ විපතට පත් වූවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්නට යෙදුණි
මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඇමතූ නාවික හමුදාධිපතිතුමන් ආපාදාවන්ගෙන් විපතට පත් ජනතාව බේරා ගැනීමේ වීර ක්‍රියාවන් සිහිපත් කරන ලදි. තවදුරටත් කරුණු ඉදිරිපත් කළ නාවික හමුදාධිපතිතුමන් දශක තුනක් තිස්සේ මව්බිම බේරා ගැනීම වෙනුවෙන් නාවික හමුදාව කළ දායකත්වය ද අගය කරන ලදි. මහජනතාවගේ ඕනෑම ව්‍යසනයකදී හෝ හදිසි ආපදාවකදී ඒ වෙනුවෙන් නාවික හමුදාවේ මෙහෙවර, කැපවීම පිළිබඳ එතුමන්ගේ පැහැදීම ප්‍රකාශ කළ අතර, මහජන මුදලින් ජීවත්වන හමුදාවන් සඳහා ප්‍රජාව බේරා ගැනීමේ ඇති අයිතිය මැනවින් සිහිපත් කරන ලදි.
ගංවතුරින් සහ නායයෑම් වලින් විපතටපත් දහස් ගණන් වූ ජනතාව මුදා ගැනීමේ සහ සහන සැලසීමේදී දක්වන ලද කැප කිරීම සම්බන්ධයෙන් රන්, රිදී සහ ලෝකඩ යන පදක්කම් ප්රදානය කිරීම ඉන් අනතුරුව සිදු කෙරුණි. ආපදා සහ විපතට පත් වූවන් වෙනුවෙන් ක්ෂණිකව ක්‍රියාත්මකවීම තුළින් සිදු වන්නට තිබූ විශාල විපත් අවම කර ගැනීම මගින් නාවික පුද්ගලයන්ගේ කැපවීම තව දුරටත් මැනවින් පැහැදිළි වේ.
එක් එක් අංශයන් විසින් සිදු කරන ලද සේවය වෙන් වෙන්ව ඇගයීමට ලක් කරමින් ඒ සඳහා විශේෂ සහතිකපත් සහ ත්‍යාගයන් ප්‍රධානය කළ අතර, එම අංශයන් අතර විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික විහිදුම් බලඝනය, මැරින් බලකාය, කිමිදුම් සහ නාවික, වෛද්‍ය ඉංජිනේරු සහ සැපයුම් යන අංශයන් වේ.
නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සිරිමෙවන් රණසිංහ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිල් රොසයිරෝ, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා, අධ්යක්ෂ ජෙනරාල් වෙරළාරක්ෂක රියර් අද්මිරාල් සමන්ත විමලතුංග, බටහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අදිමිරාල් නිරාජ ආටිගල, දකුණු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි විය.





























