තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරමින් සිටින ප්‍රජා සත්කාරක සේවාව යටතේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ඊයේ (ජූනි 04) ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ අනුව මැදවච්චිය, තම්මැන්නාකුලම, ත්‍රීකුණාමලය මහදිවුල්වැව ඉන්ද්රරාම විහාරය සහ ගෝමරන්කඩවල, ශ්‍රී රතනජෝති විද්‍යාර්ථ පිරිවෙන යන ස්ථානයන්හි ඒවා ස්ථාපිත කරන ලදි. මැදවච්චිය, තම්මැන්නාකුලම ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 350 ක්ද, මහදිවුල්වැව ඉන්ද්රරාම විහාරයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 320 ක්ද, රතනජෝති විද්‍යාර්ථ පිරිවෙනේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පිරිවෙනේ ස්වාමින් වහන්සේලා 70 නමක් සහ ශිෂ්‍යයින් 350 ක්ද පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හිමිකම් ලබනු ඇත.
නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදනය කර ඇති අතර, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මුල්‍ය දායකත්වය සපයා ඇත. තවද, තම්මැන්නාකුලම ගම්මානයේ ඉදි කළ ජල පිරිපහදු යන්ත්‍රය සඳහා ෆයර් ෆ්ලයි මිෂන් සිංගප්පූරු ආයතනයේ මුල්‍යමය දායකත්වය ලබා දුන් අතර ඔවුන් විසින් ඉදි කළ 6 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ද මෙය වේ. එමෙන්ම ශ්‍රී රතනජෝති විද්‍යාර්ථ පිරිවෙනේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය සම්පූර්ණයෙන්ම සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක කිරීම තවත් විශේෂත්වයකි.
මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 207 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 102085 කට හා පාසැල් දරු දැරියන් 75420 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.











