පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ත්‍රිකුණාමලයේදී රුවල් ඔරු සංචිතය විවෘත කරයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙහි අද දින (ජුනි 11) පැවැත්වීමට නියමිත නිලධාරි විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීම පිණිස පැමිණ සිටින පකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද දින නැගෙනහිර නාවික විධානයට පැමිණෙන ලදී. නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විසින් පකිස්ථානු නාවික හමුදාධිපති තුමන් පිළිගනු ලැබිණි. අනතුරුව අද්මිරාල් සකාඋල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කිරීමට නියමිත තවත් වැඩ සටහන් කිහිපයක් සඳහා එතුමන් කැටුවයාම ශ්‍රීලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් සිදු කරන ලදී.
ඒ අනුව නාවික හා සාගරික විද්‍යා පීඨයෙහි රුවල් ඔරු සංචිතය විවෘත කිරිම පකිස්ථානු නාවික හමුදාධිපති තුමන් අතින් සිදු කෙරුණි. මෙම සංචිතය 1986 ජනවාරි 15 වන දින ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් ත්‍රිකුණාමල ඉච්චන්තිව්හිදී දිවි පුදකළ කොමාණ්ඩර් ශාන්ති කුමාර් බහාර් මහාතා සිහි කරනු වස් ස්ථාපිථ කර ඇත. එතුමන් ශ්‍රීලංකා නාවික හමුදාව නියෝජනය කරමින් රුවල් ඔරු සහ යාත්‍රා තරඟ රාශියකට සහභාගි වී ඇති අතර වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් නාවික හමුදා වර්ණ දිනාගෙන ඇත.
අද්මිරාල් සකාවුල්ලා මහතාද ඉතා දක්ෂ කුඩා යාත්‍රා හැසිරවීමේ ක්‍රීඩකයෙකු වන අතර 1984 වර්ෂයේ ඔලිම්පික් තරඟා වලියේදී පකිස්ථානය පවා නියෝජනය කර ඇත. එමෙන්ම 1986,1990 යන වසර වලදී මෙම ක්‍රීඩාවෙන් ආසියානු තරගාවලිය නියෝජනය කර රන් පදක්කම් 2 ක් දිනා ගැනීමටද එතුමන් සම්බන්ධවී තිබීම විශේෂත්වයකි.
මීට සමගාමීව පකිස්ථානු නාවික හමුදාධිපති තුමන්ගේ නැගෙනහිර නාවික ප්‍රදේශයේ නාවික සංචාරය සිහිගැන්වීම සඳහා පැලයක් රෝපනය කිරීමද සිදු කරන ලදී. තවද අද දින සන්ධ්‍යාවේ නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්වීමට නියමිත විසිරයාමේ පෙළපාලිය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදා මූලස්ථානය සහ නැගෙනහිර නාවික පෙදෙස නියෝජනය කරමින් ජේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ නාවිකයින් පිරිසක් එක්ව සිටියහ.










