ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද අධි තාක්ෂණික නෞකාව අද කොළඹ වරායට පැමිණේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (ජූලි 28) උදෑසන 0930 පැයට පමණ කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් කටයුතු කරනු ලබන, රියර් අද්මිරාල් කපිල සමරවීර සහ අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් උපුල් ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.
නවීන යුද නෞකාවක් වන මෙය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින්ම මිලදී ගත් ප්‍රථම අධි තාක්ෂණික නෞකාව ලෙස සනිටුහන් වනු ඇත. නෞකාවේ මෙහෙයුම් සහ යාත්‍රා හැකියාව පරීක්ෂා කරනු වස් එය මෙරට බලා යාත්‍රා කිරීමට ප්‍රථමයෙන් පරීක්ෂක ගමන්වාර සහ අත්හදාබැලීම් කිහිපයක් සිදු කර ඇත. නෞකාවේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වන විට එහි පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 66.55 ක් වනු ඇත.
2014 වර්ෂයේ පෙබරවාරි මස 17 වන දින මෙම වර්ගයේ නෞකා 2 ක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ ගොවා නැව් සමාගම සමග ශ්‍රී ලංකා නාවික හමුදාව ගිවිසුමකට අත්සන් තබන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම ප්‍රථම නෞකාව නිෂ්පාදනය කිරීමේ කාර්යයන් ආරම්භ විය. ඒ අනුව, එහි ඉදිකිරීම් කටයුතු 2014 මැයි මස 15 වන දින ආරම්භ කළ අතර, නෞකා අංගනය තුළ සිදු කරනු ලබන නැව් පතුල ඉදිකිරීම් කටයුතු (Keel Laying) 2014 සැප්තැම්බර් මස 10 වන දින සිට සිදු කෙරිණි. 2016 ජුනි මස 10 වන දින මෙම නෞකාව දියත් කිරීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී.
එමෙන්ම, පසුගිය ජූලි 22 වන දින මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය, ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අතිගරු චිත්‍රාංගනි වාගිෂ්වර මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ ගෝවා නැව් තඨාකංගනයේදී සිදු කෙරුණි. එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් නිල වශයෙන් නෞකාව භාර ගන්නා ලදී. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන දෙවන අධි තාක්ෂණික නෞකාව 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ද නියමිතය.











