නාවික හමුදා වර්ණ ප්‍රදාන උත්සවය - 2017 ත්‍රිකුණාමලයේදී පැවැත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදා වර්ණ ප්‍රදාන උත්සවය - 2017 අද (ජූලි 29) සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික විධානයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි විය. තවද මෙම අවස්ථාවට මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපතිගේ ලේකම් සහ නවික ලේකම්, අධ්යක්ෂ ජෙනරාල් (අයවැය සහ මුදල්), රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් රැසක් සහභාගි විය.
2014 - 2016 යන වසරවල විධාන, ආරක්ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්රයේ දක්ෂතා දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණි. ඒ අනුව පසුගිය තෙවසරක් කාලය තුළ විවිධ ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් නාවික හමුදාව වෙනුවෙන් රන්,රිදී,ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුට වර්ණ ප්රදානය කරන ලදී.
ජවන හා පිටිය ඉසව් බැට්මීටන්, බේස්බෝල්, පැසිපන්දු, බීච් වොලිබෝල්, කාය වර්ධන, බොක්සිං, කැරම්, ක්‍රිකට්, පාපැදි, පාපන්දු , හෑන්ඩ් බෝල්, හොකී, ජෙට් ස්කී, ජුඩෝ, කබඩි, කරාතේ, වෙඩි තැබීම, දැල් පන්දු, රගර්, ඔරු පැදීම, රුවල් ඔරු, පිහිනුම්, මේස පන්දු , ටෙනිස්, තුන් ප්‍රයාම, කඹ ඇඳීම, අත් පන්දු, බර එසවීම, දියමත ලිස්සා යෑම, මල්ලව පොර සහ වූෂූ යනාදි ක්‍රීඩා ඉසව් වලින් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේ ඇගයීමට ලක්විය.
නාවික හමුදාධිපතිතුමන්ගේ සහ අධ්යක්ෂ ක්‍රීඩා ලෙස කටයුතු කරන කපිතාන් (මාලිමා) ප්‍රසන්න රත්නායක මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රීඩා ක්ෂේත්රයේ විශිෂ්ට දක්ෂතා දැක්වීමට නාවික හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සමත්ව ඇත. ඔවුන්ගේ කැපවීම, දක්ෂතාවය සහ කණ්ඩායම් හැඟීම තුළින් ප්‍රධාන පෙළේ සෑම තරගාවලියකටම සහභාගි වෙමින් නාවික හමුදාවේ කීර්තිය ඉහළින් ඔසවා තැබීමට ඔවුන් සමත්ව ඇත.
මෙම උත්සවයේදී , 2014 වර්ෂයේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් නායක ලිපිකරු බිඒඑස් ප්‍රසන්න කායවර්ධන ක්‍රීඩාවෙන්ද, 2015 වර්ෂයේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් සාමාන්‍ය නැවි ආර්ඩබ්එම්එස්ටිඒපි රාජපක්ෂ කරාතේ ක්‍රීඩාවෙන් සහ 2016 වර්ෂයේ දක්ෂම ක්‍රීඩකයා වශයෙන් බලනැවි ජේඑම්එස්එන් කුමාර තුන් ප්‍රයාම ක්‍රීඩාවෙන්ද සම්මානයට පාත්‍ර විය.
මේ අතර පසුගිය තෙවසර සඳහා අන්තර් විධාන සමස්ත ශුරයින් වෙනුවෙන් සම්මාන පිරිනැමූ අතර, ඒ වෙනුවෙන් 2014 -2015 වර්ෂ වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයද, 2016 වර්ෂය වෙනුවෙන් පුහුණු විධානයද සම්මාන හිමි කරගන්නා ලදී.























