ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ජනපතිතුමන් අතින් අධිකාරියට
ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම අද (අගෝස්තු 2) දින සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පස්වරු 0400 පැයට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී සිදු කෙරිණි.
එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, අමාත්‍යවරුන්, ආරක්ෂක ලේකම්, නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක නිපදවීම් පිළිබඳව ඉන්දියානු ආරක්ෂක ලේකම් ශ්‍රී අශෝක් කුමාර් ගුප්තා මහතා, ඉන්දියාවේ සීමාසහිත ගෝවා නැව් තඨාකාංගනයේ සභාපති සහ කළමනාකරණ අධ්යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ශේඛර් මිටාල් මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වී සිටියහ.
තවද, ඉන්දියාවේ දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ඒආර් කාර්ව් මහතා, යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් ද එක් වී සිටියහ.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතිගරු ජනාධිපතිතුමන් වෙත නාවික හමුදා විශේෂ සම්මාන මුරයක් මගින් ආචාරය පුද කෙරිණි. ඉන් අනතුරුව සම්මාන මුරය පිරික්සූ අතිගරු ජනාධිපතිතුමන් විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) නිශාන්ත අමරෝසා මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්රදානය කරන ලදී. එහිදී, කපිතාන් අමරෝසා මහතා විසින් සන්නස් පත්‍රය උත්සව සභාව වෙත ප්‍රකාශයට පත් කරමින්, සිය මාතෘ භූමියේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා තමන් වෙත පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටු කරන බවට ද ප්‍රතිඥා දෙන ලදී. ඉන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නමින් අධිකාරියට පත් කරන ලද මෙම අධි තාක්ෂණික නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන් අතින් සිදු කෙරිණි.
තවද, ජනාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් නෞකාවේ නවීන පහසුකම් සහ උපකරණ පිළිබඳ අවබෝධයක් ලබා ගනු වස් එහි නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිතුමන් ඇතුළු ප්‍රභූ පිරිස දැනුවත් කරන ලදී. මීට අමතරව නාවික හමුදාව විසින් සිය නාවික පුද්ගලයින්, මැරීන් භටයන්, කිමිදුම් කරුවන්, විශේෂ යාත්‍රා බලඝණ නාවිකයින්, වෛද්‍ය කණ්ඩායම් මෙන්ම, ජංගම මුළුතැන්ගෙයක්, ජල පොම්ප, කුඩා යාත්‍රා සහ නාවික හමුදා රථ වාහන යනාදී සම්පත්, මානුෂීය සහන හා ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව ද එහිදී ජනාධිපතිතුමන් දැනුවත් කෙරිණි.
තවද, අති පුජ්‍ය වෙන්ඩරුවේ ධර්ම කීර්ති ශ්‍රී රත්නපාල උපාලි අභිධාන අනුනායක ස්ථවිර, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අති පුජ්‍ය මහානායක අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි නායක මහ ස්ථවිර, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපානන්, කොළඹ නව කෝරළයේ අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති දිවියගහ යසස්සී ස්ථවිර, ගංගාරාම විහාරවාසී, පල්ලේගම රතනසාර හිමි, ගංගාරාම විහාරවාසී, ත්‍රිපිටකවේදී පාලටුවේ ජිනරතන හිමි, ආචාර්ය එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා සහ පුසාරි ශ්‍රී එස්එස් සාම්බුසීවාම් කුරුක්කල සහ අල් හජ් කුවාරි මවුලව්, එම් ෆයිසාල් හසන් යන සර්ව ආගමික පූජකවරුන් විසින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව වෙත ආශිර්වාද පූජාවක් ද සිදු කරන ලදී.
මෙම නෞකාවේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍යතාවය අනුව විදේශිය නැව් තැනීමේ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම නෞකාව වීමයි. එමෙන්ම ඉන්දියාව විසින් විදේශ නාවික හමුදාවක් වෙත නිෂ්පාදනය කරන ලද විශාලතම යුධ නෞකාව ලෙසද මෙය වාර්තාගත වේ. මෙම අධි තාක්ෂණික යුද නෞකාව පසුගිය ජුලි 28 වන දින කොළඹ වරායට සේන්දු විය.
මෙම නවීනතම යුද නෞකාව මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂීය සහන, ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සහ සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම බාහිර ගිනි නිවිමේ මෙහෙයුම් සඳහා සහාය දැක්විමේ හැකියාව ද මෙම නෞකාව සතුය.
ඉන්දියානු නැව් ලියාපදිංචි ආයතනය සහ ඇමෙරිකානු නාවික කාර්යංශයේ විධිවිධානයන්ට අනුව නිෂ්පාදනය කර ඇති සයුරළ නෞකාව නවීන තාක්ෂණයෙන් සහ විශේෂිත අංගෝපංග රැසකින් ද සමන්විත වේ. එහි දිග මිටර් 105.7 ක් වන අතර, පළල මිටර් 13.6 ක් වේ. එහි ඉපුලුම් ගැඹුර මිටර් 5 ක් වන අතර, උපරිම වේග සීමාව පැයට නාවික සැතපුම් 26 කි.
තවද, පැයට නාවික සැතපුම් 12 ත් 14 ත් අතර වේගයක් පවත්වා ගනිමින් නාවික සැතපුම් 7,000 ක පමණ දුරක් යාත්‍රා කිරිමේ හැකියාව මෙම නෞකාව සතුව ඇත. එමෙන්ම, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වන අතර, සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක් ද මෙය සතුය. මීට අමතරව ඉදිරියේදී මෙම නෞකාවේ මල්ට් බැරල් රොකට් ලොන්චර් (MBRL) පද්ධතියක් ස්ථාපිත කිරීමට ද නියමිතය.
සිය අනාගත කාර්යය භාර්ය්ය කෙබදු දැයි ශ්‍රී ලංකා නාවික හමුදාව මනාව අවබෝධ කරගෙන ඇත. මන්ද යත් ශ්‍රී ලංකාව සතු මුහුදු සැතපුම් 200 ක පමණ විශාලත්වයකින් යුත් විශේෂ ආර්ථික කලාපය මෙන්ම, ඉදිරියේදී ශ්‍රී ලංකාව සතු වීමට ඇති වර්ග කිලෝමීටර් 1,738,062.24 ක අති විශාල සාගර කලාපය ආරක්ෂා කිරීමේ වගකීම ද නාවික හමුදාවට පැවරී ඇත. එබැවින් ඉහල තාක්ෂණයෙන් යුත් විශාල ප්‍රමාණයේ මෙවැනි නෞකා සහ යාත්‍රා මිලදී ගැනීම ඉතා වැදගත් කර්තව්‍යයක් වනු ඇත. 2025 වසර වන විට මෙවැනි නෞකාවන් 20 කින් ශ්‍රී ලංකා නාවික හමුදාව සන්නද්ධ කිරීමේ අරමුණ ඇතිව, ඒ වෙනුවෙන් සම්පාදනය කළ ‘නාවික හමුදා සාගරික උපායමාර්ග 2025’ කෘතිය මගින් ද ආනාවරණය කර ඇත. ඒ අනුව වත්මන් නාවික හමුදාධිපතිතුමන්ගේ එම දූරදර්ශී සංකල්පය යථාර්තයක් බවට පත් කරමින් නාවික හමුදාවට එක් වූ ප්‍රථම නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව ඉතිහාසයට එක් වනු ඇත.
මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය වන දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ලබන වසරේදි මෙම නැව් පංතියට එක්විමට නියමිතය.

































