ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නිදහස් කිරීමට නාවික හමුදාවේ සහාය
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු යලි එරටට භාර දීම අද (අගෝස්තු 03) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි. මෙම කර්තව්‍ය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවික සුහදත්වය සංකේතවත් කිරීමක් ලෙස ද හැදින්විය හැක.
මෙම ධීවරයින් අවස්ථා කීපයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ අය වන අතර, ඔවුන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී පතුල මත ඇදගෙන යාමේ (Bottom trawling) තහනම් ක්‍රමය භාවිතා කරමින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇත. එම ක්‍රමය ඉතා විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හැදින්විය හැක.
ධීවරයින් පිරිස අද සන්ධ්‍යාවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘සාරන්ග්’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.










