අනතුරට පත් යාත්‍රාවක සිටි ධීවරයින් 6 දෙනෙකු ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදු ප්‍රදේශයේ අනතුරකට ලක්ව මුහුදේ පාවෙමින් තිබූ ‘දිනූ පුතා 1’ නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (අගෝස්තු 09) අළුයම කටයුතු කරන ලදී.
එම බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජූලි මස 21 වන දින ධීවර කටයුතු සඳහා හම්බන්තොට වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ගොඩබිම සිට නාවික සැතපුම් 240 ක් පමණ දුරකදී ධීවර යාත්‍රාවේ එන්ජිම අක්‍රීය වීම හේතුවෙන් අනතුරට ලක්ව මුහුදේ පාවෙන්නට පටන් ගෙන ඇත.
මේ බව නාවික හමුදාව වෙත දැනුම් දීමෙන් පසුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම පුද්ගලයන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව එම ප්‍රදේශය වෙත පිටත් කර හරින ලදී. පවතින රළු මුහුදු ස්වභාවය මත ධීවර යාත්‍රාව රැගෙන ඒම අපහසු වී ඇති නමුත්, එහි සිටි ධීවරයින් 6 දෙනා නෞකාව වෙත නංවා ගෙන ඔවුන් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත. එමෙන්ම එම ධීවරයින් සඳහා අවශ්‍ය ප්‍රථමාධාර මෙන්ම ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට ද නෞකාවේ කාර්යය මණ්ඩලය කටයුතු කොට ඇත.




