චීන නාවික හමුදා රෝහල් නෞකාව ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Ark Peace) සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 06 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Hepingfangzhou) නෞකාව අද (අගෝස්තු 09) උදෑසන කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමු දෙන ලදී.
සිව් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ආර්ක් පීස් (Ark Peace) නෞකාව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද විවිධ වැඩසටහන් කීපයකට එහි නැව් මුළුව සහභාගී විය. ඒ අතර, ඊයේ (අගෝස්තු 08) ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහායක අංශයේ නාවිකයන් හා එක්ව රෝහල් නෞකාවේදී විශේෂ වෛද්‍ය සායනයන් සහ හදිසි අවස්ථාවකදී මානුෂීය සහන සැළසීමේ පෙරහුරු අභ්‍යාසයන් කීපයක් සිදු කෙරිණි. එම අවස්ථාවන් සඳහා රජයේ වෛද්‍යවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.











