ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රා මඟින් ඊයේ (අගෝස්තු 09) රාත්‍රී සහ අද අළුයම් කාල සීමාවේදී ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින්, නාවික සැතපුම් 9.5 ක්, 6 ක් සහ 7 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 3 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඉන්දීය ධීවරයින්, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති අතර, එය සාගර සම්පත් විනාශ කරන මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හදුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවන් සහ භාණ්ඩ කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද, ධීවරයින් කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතද රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.
තවද, පසුගිය අගෝස්තු මස 03 වන දින, අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුල්වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නිදහස් කිරීමට ද නාවික හමුදාව කටයුතු කරන ලදී.




