ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායේ අමගිරි නෞකාව හම්බන්තොට වරායට
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘අමගිරි’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 21) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව, දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කර ගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සමග නාවික අභ්‍යාසයක නිරත වීමට ද නියමිතය.
එමෙන්ම, ජපාන දෙවන ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී, කපිතාන් කෝජි සයිටෝ මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මොරොරෙ අට්සුහිරෝ මහතා දකුණු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවීමට ද නියමිතව ඇත.



