අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගනී
සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අගෝස්තු මස 22 වන දින සිට නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කොට ඇත.
ඒ අනුව අද (අගෝස්තු 22) නාවික හමුදා මූලස්ථානයේදී අද්මිරාල් විජේගුණරත්න මහතා වෙත 48 දෙනෙකුගෙන් සමන්විත සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පුද කෙරිණි. එහිදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් විසින් අද්මිරාල් නිලයට උසස් කෙරුණු විජේගුණරත්න මහතා වෙත සිය සුභාසිංශන පිරිනමන ලදී.
ක්‍රියාන්විතයේ දී දැක්වූ වීරත්වය සහ නිර්භීතභාවය හේතුවෙන් පිරිනමනු ලබන වීර පදක්කම් හතරකින් පුදලැබීමට හැකි වූ, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියෙකු වශයෙන් අද්මිරාල් විජේගුණරත්නයන් හැදින්වීමට හැකිය. ඔහු විසින් දිනාගෙන ඇති පදක්කම් අතර, වීරෝධාර විභූෂණය, රණ වික්‍රම පදක්කම (දෙවරක්) සහ රණශූර පදක්කම විශේෂ වේ. මීට අමතරව ඔහු විසින් ප්‍රදර්ශනය කළ ප්‍රශංසනීය සහ ආදර්ශමත් නාවික සේවය අගයනු වස් විශිෂ්ඨ සේවා විභූෂණය සහ උත්තම සේවා පදක්කම යන පදක්කම්ද පිරිනමා ඇත.
නාවික හමුදාවේ විශේෂ බලකාය ලෙස සැලකෙන විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ මෙන්ම, එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේද අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නයන් වේ. යුධ ගැටුම් පැවති සමයේ නාවික හමුදාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට මෙම විශේෂ යාත්‍රා බලඝණය සමත් විය. එමෙන්ම 1993 දී දියත් කළ සුපතල පුනරින් මෙහෙයුම ඇතුළු තවත් නාවික මෙහෙයුම් රාශියක් සඳහා සිය අණ ලබාදීමේ ගෞරවයද ඔහු සතු වේ. තවද, මෙම සුවිශේෂී බලකාය සිය නාවික ජිවිතය තුළ දෙවරක් (02) මෙහෙයවිමේ භාග්‍ය ඔහු හිමි කරගෙන ඇත. මිට අමතරව 1988 වසරේදි ඉන්දියානු නාවික මැරීන් කොමාණ්ඩෝ භටයින් සමඟ දියත් කළ ‘පවන්’ මෙහෙයුම සඳහාද එක්ව ඇති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඒ සඳහා වීර පදක්කමකින් පිදුම් ලබා ඇත.
ඔහු, අවසන් වරට සාගරික රාජකාරීන්හි නිරත වුයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ධජ නෞකාව වන ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙනි. නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, ධජ නිලධාරි නාවික දියත් විධානය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් සහ ආරක්ෂක උපදේශක, අධ්යක්ෂ නාවික මෙහෙයුම්, (ත්‍රස්තවාදී පාවෙන අවි ගබඩා විනාශ කරන ලද කාලය වන 2006 – 2007) අධ්යක්ෂ නාවික විශේෂ බලකා හා නාවික නිරික්ෂණ, දකුණු, බටහිර, උතුරු සහ නැගෙනහිර නාවික ආඥාපති, අධ්යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා වෙරලාරක්ෂක බලකාය සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඔහු විසින් හොබවන ලද අනෙකුත් ප්‍රධාන තනතුරු ලෙස දැක්විය හැකිය.
ඔහු 2015 ජූලි මස 11 වන දින සිට මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාධිපතිවරයා ලෙස රාජකාරී කටයුතු සිදු කරන ලදී.















