නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (අගෝස්තු 25) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ, තිරුනි සින්නයියා මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමට ප්‍රථම නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා හමුවූ අතර, එහිදී ඔවුන් සුහද පිළිසඳරක ද නිරත විය. ඉන් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබූ නාවික හමුදාධිපතිතුමා එම අවස්ථාව සනිටුහන් කරනු වස් දියවඩන නිළමේතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්රදානය කෙරිණි.
ඉන් අනතුරුව, එතුමා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන් ද බැහැදැක උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගන්නා ලදී. එහිදී මහා නායක හිමිවරුන් විසින් නව තනතුරේ රාජකාරීන් මැනවින් ඉටු කළ යුතු ආකාරය පිළිබඳ නාවික හමුදාධිපතිතුමන් හට කෙටි අනුශාසනාවන් ද සිදු කළ අතර, එම කර්තව්‍යයන් සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා ශක්තිය ලැබේවායි ද ආශිර්වාද කෙරිණි. මහා නාහිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු නාවික හමුදාධිපති තුමන් විසින් ගරුතර මහා සංඝරත්ණය උදෙසා අටපිරිකර පූජා කිරීමක් ද සිදු කරන ලදී.













