නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ දානමය පිංකමක්
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අගෝස්තු 27) නැගෙනහිර නාවික විධාන නිලධාරි නිවස්නයේදී ගරුතර මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පැවැත්වීය. එහිදී, නාවික හමුදාධිපතිතුමන්, ඔහුගේ දයාබර බිරිඳ තිරුනි සින්නයියා මැතිණිය, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ඇතුළු සියළුම නිලධාරීන් මෙන්ම නාවිකයන් ද සුදු වතින් සැරසී එම පුණ්‍ය කටයුත්ත සඳහා සැදැහැ සිතින් සහභාගී වී සිටියහ.
අභිනව නාවික හමුදාධිපතිතුමන් ප්‍රධාන සමස්ථ නාවික පුද්ගලයන් හට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනු වස් මෙම දානයමය පිංකම සංවිධානය කර තිබිණි. රංගිරි උල්පත පුරාණ රජමහා විහාරස්ථ, උප්පුවේලි ධර්ම විජය මධ්‍යස්ථානය ඇතුළු විහාරස්ථානාධිපති, ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සද්ධර්මවංශ මහා නිකායේ මහානායක, පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී සීල විසුද්ධි ස්වාමීන් වහන්සේ, මාලිගාවත්ත ශ්‍රී සම්බෝධි රාජාරාම, වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාමාධිපති, ජනාධිපති උපදේශක සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ උපදේශක ඌවතැන්නේ සුමණ මහා නාහිමිපානන් සහ ත්‍රිකුණාමලය ජයසුමනාරාමාධිපති, නැගෙනහිර නාවික විධාන බෞද්ධ සංගමයේ අනුශාසක, ත්‍රිකුණාමලයේ ඥාණකිත්ති නාහිමිපානන් ඇතුළු ස්වාමීන් වහන්සේලා 61 නමක් විෂයෙහි මෙම දහවල් දානය පිරිනමන ලදී.







