ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2017 සඳහා සයුර සහ සාගර නෞකාවන් පිටත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් අද (සැප්තැම්බර් 04) ත්‍රිකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය. මෙම නෞකාවන් වරායෙන් පිටත්වීම නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි.
එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහ ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් සහ ධජ නිලධාරී නාවික දියත් විධානය විසින් නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සහ නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලදී. එම නෞකාවන් සැප්තැම්බර් මස 06 වන දින විශාකාපට්නම් වරාය වෙත ලඟා වීමට නියමිතය.
මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් මස 07 වන දින සිට 14 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. නෞකාවන්ගේ සමස්ථ කාර්යය මණ්ඩලය 368 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 43 දෙනෙකු සහ පුහුණු වන මධ්‍ය නිලධාරීන් 60 දෙනෙකු ද ඇතුළත් වේ.
මෙම නාවික අභ්‍යාසය මගින්, නෞකා ස්ථානගත කිරීම, සමූහයක් වශයෙන් යාත්‍රා කිරීම, පණිවිඩ හුවමාරුව, නෞකා අතර පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරු කිරීම සහ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස ඒකාබද්ධ ලෙස පැවැත්වීමට අපේක්ෂිතය.
සාගරික ක්‍රියාකාරකම් වලදී ඉන්දීය නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අවශ්‍ය සහාය නිරන්තරයෙන් දක්වන අතර, නොකඩවා සිදු කරන මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මගින් දෙරටේ නාවික හමුදාවන්ගේ අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමගින් ඉන්දියන් සාගරයට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත.








