ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත තවත් නෞකාවක්
ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම ඊයේ (2017 සැප්තැම්බර් 05) ඉන්දියාවේ කොචින් වරායේදී උත්සවාකාරයෙන් සිදු විය. එය CG 60 වශයෙන් නම් කොට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට එක් වීමට නියමිතය.
ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් වයිස් අද්මිරාල් රාජේන්ද්‍ර සිං මහතා විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා වෙත නිල වශයෙන් නෞකාව භාර දීම සිදු කෙරිණි. මෙම සුවිශේෂි අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ අතිරේක අධ්යක්ෂ ජෙනරාල්, කේ නටරාජන් මහතා, ඉන්දියානු දකුණු නාවික විධානය භාර මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ආර්ජේ නඩ්කානි මහතා ඇතුළු ඉන්දු-ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම නෞකාව දිගින් මීටර් 74.10 ක් වන අතර, පළලින් මීටර් 11.4 කින් යුක්ත වන අතර, පැයට මුහුදු සැතපුම් 22 ක වේගයකින් යාත්‍රා කළ හැකිය. එය ටොන් 1180 ක ධාරිතාවයකින් සමන්විත වේ. මෙම නෞකාවේ නිලධාරීන් 10 දෙනෙකුට සහ නාවිකයින් 98 දෙනෙකුට රාජකාරී කිරීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විත වේ. පැයට මුහුදු සැතපුම් 16 ක වේගයක් පවත්වා ගනිමින් නාවික සැතපුම් 8,500 ක පමණ දුරක් යාත්‍රා කිරිමේ හැකියාවද මෙම නෞකාව සතුව පවතී. තවද, නවීන සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි හෙලිපථයක් ද මෙය සතුය.
ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂීය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැළැක්වීමේ මෙහෙයුම් සඳහාත්, නාවික පුහුණු කාර්යන් සඳහාත්, මෙම නෞකාව යොදා ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකාය අපේක්ෂා කෙරේ. නෞකාව ඊයේ දින භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික කාර්ය මණ්ඩලය විසින් එහි මෙහෙයුම් සහ තාක්ෂණික ක්‍රියාවලියට අනුගත වීමෙන් අනතුරුව එළඹෙන 14 වන දින ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට බලා ගමන් ආරම්භ කිරීමට නියමිතය. නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් නෙවිල් උබේසිරි මහතා කටයුතු කරනු ලබයි.





