“දියකාවා” යුද අභ්‍යාසය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 8 වන වරටත් සංවිධානය කරන ලද දියකාවා ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රිවිධ හමුදා සහ විදේශීය හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර පළාත ආවරණය වන පිරිදි පැවැත්වෙයි. එහි උද්වේගකර අවස්ථාව වන සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාසය නැරඹීම සඳහා අද (සැප්තැම්බර් 14) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජයවර්ධන මහතා සහ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා එක් විය.
තවද, එම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා නාවික පුද්ගලයන් 370 දෙනෙක්, යුද හමුදා සාමාජිකයන් 2,160 දෙනෙක් සහ ගුවන් හමුදා පුද්ගලයින් 197 දෙනෙක් සහභාගී වූහ. එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, බ්‍රසීලය, ඉන්දියාව, පාකිස්තානය, තුර්කිය, බංගලාදේශය, මාලදිවයින, නේපාලය, ඉන්දුනීසියාව, මැලේසියාව, සූඩානය, ඉරාකය, ඊශ්‍රායලය, ඕමානය, ඉරානය සහ කෙන්යාව යන රටවල් නියෝජනය කරමින් හමුදා පුද්ගලයින් 69 දෙනෙකු ද සහභාගී වී ඇත.
මෙම බහු පාර්ශ්වික ක්ෂේත්‍ර යුද අභ්‍යාසය මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය සැප්තැම්බර් මස 03 වන දින ආරම්භ කෙරිණි. නාවික හමුදා අධ්යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම්, කොමදෝරු උදේනි සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යුද අභ්‍යාසය සඳහා නාවික පුද්ගලයින් සහභාගී විය.
මිත්‍ර හමුදාවන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය සහ මෙහෙයුම් හැකියාව තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මේ වන විටත් පැවැත්වෙන අභ්‍යාසය සඳහා නාවික පුද්ගලයන්ගේ දායකත්වය මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා රණජය, එඩිතර සහ වික්‍රම II යන නෞකා, L 820, L 821 යන යාත්‍රා මෙන්ම වේග ප්‍රහාරක යාත්‍රා 6 ක් සහ වෙරළාරක්ෂක මුර යාත්‍රා 10 ක්ද යොදවා ඇත.

















