ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත ප්රදානය කරන ලද නෞකාව අද කොළඹ වරායට පැමිණේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය මගින් ප්රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (සැප්තැම්බර් 16) උදෑසන 0900 පමණ කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
පසුගිය සැප්තැම්බර් 05 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා විසින් නිල වශයෙන් මෙම නෞකාව භාර ගන්නා ලදී. නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් නෙවිල් උබේසිරි මහතා කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 10 දෙනෙකු සහ නාවිකයින් 98 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ. තවද, මෙම නෞකාව CG 60 වශයෙන් නම් කොට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට එක් වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් නන්දන ජයරත්න මහතා සහ නාවික හමුදා මූලස්ථානය මෙන්ම බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.










