නාවික හමුදාධිපතිතුමන් නව වෙරළාරක්ෂක නෞකාවේ සංචාරයක
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 18) ඉන්දියානු රජය මගින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්රදානය කරන ලදගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවේ චාරිකාවාරයක නිරත විය. එහිදී, නාවික හමුදා විශේෂ සම්මාන මුරයක් මගින් ආචාරය පුද කරමින් නාවික හමුදාධිපතිතුමන් නෞකාව වෙත පිළිගන්නා ලදී.
එම අවස්ථාව සඳහා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
එම නිරීක්ෂණ චාරිකාවාරයේදී, නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් නෙවිල් උබේසිරි මහතා විසින් නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් තත්ත්වය පිළිබඳව නාවික හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලදී.නෞකාවේ ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව ද ඔවුන් එහිදී අදහස් හුවමාරු කර ගත්හ. නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රථම නිරීක්ෂණ චාරිකාවාරය සනිටුහන් කරනු වස්, එතුමන් විසින් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් තැබීමට ද කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා ඉන්දියානු රජය විසින් ලබා දුන් එම නෞකාවේ නිලධාරීන් 10 දෙනෙකු සහ නාවිකයින් 98 දෙනෙකු සඳහා රාජකාරී පහසුකම් පවතී.





