අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය 2017 සාර්ථක ලෙස නිමාවට පත් වේ
නාවික හමුදා අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 30) උතුරු මැද නාවික විධානයට අයත් පූනෑව, ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩි පිටියේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.
එම අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සහභාගී විය. තවද, උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා සහ තරඟාවලියේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී හා අධ්යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම්, කොමදෝරු උදේනි සේරසිංහ මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
දින 3 ක් පුරා පැවති මෙම තරඟාවලිය, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ගොඩබිම් සටන් පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද අතර, මේ සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරන විශේෂ මෙහෙයුම් කණ්ඩායම් වල නාවිකයින් සහභාගී විය. එම අවස්ථාව, විශේෂ මෙහෙයුම් හා ගොඩබිම් සටන්, පැති අවි මගින් සිදුකරන වෙඩි තැබීම් සහ වෙඩි තැබීම් හි නිදර්ශණයන් ගෙන් විචිත්‍රවත් විය.
මූලික ගොඩබිම් පුහුණු පාඨමාලාව හදාරණ තරඟකරුවන් අතර පැවති තරඟයෙන් ශාරීරික යෝග්‍යතාවයෙන්, ක්ෂේත්‍ර ශිල්පයෙන් හා ගොඩබිම් සටන්වල මූලික උපක්රමයන්ගෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ උතුරු මැද නාවික විධානය සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට සමත්වුණු අතර, නැගෙනහිර නාවික විධානය එහි අනුශූරයන් බවට පත්විය. විශේෂ මෙහෙයුම් කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ද විශිෂ්ට දක්ෂතා දැක්වූ උතුරු මැද නාවික විධානය එහි සමස්ථ ශූරතාවයත්, දකුණු නාවික විධානය එහි අනුශූරතාවයත් හිමි කර ගැනීමට සමත් විය.























