ගාලු කථිකාව 8 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අට වන වසරටත් සංවිධානය කරනු ලබන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 09) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. ඉන්දියාව, චිනය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 51 ක නියෝජිතයින් පිරිසක් සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක නියෝජිතයින් පිරිසක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වී සිටිති.
මෙම සමුළුවේදී “සමුද්‍රීය ආරක්ෂාව පුළුල් කිරීම සඳහා වූ වඩාත් පුළුල් සමුද්‍රීය දැක්මක්” යන තේමාව යටතේ ශ්‍රාස්ත්‍රීය දේශන 19 ක් ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විසින් සමුළුවේ පිළිගැනීමේ කථාව සිදු කළ අතර, පළමු දින සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මහතා විසින් එහි ප්‍රධාන දේශනය සිදු කරන ලදී.
තවද, මෙම අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා විශේෂ ආරාධනා ලැබූ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපතිනි අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය ද සහභාගී වූවාය. එමෙන්ම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති, පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා ඇතුළු තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් මෙන්ම රජයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද පළමු දින සැසිය සඳහා සහභාගී වී සිටියහ.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට 2010 වර්ෂයේදි ගාලු කතිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය ගාල්ලේදී පවත්වන ලදී. මෙහි ප්‍රධානතම අරමුණ වුයේ දෙස් විදෙස් පිළිගැනිමකට ලක් වූ පර්ශ්වකරුවන් හට සාගරික ආරක්ෂාව පිළිබඳ සාකච්ජා කළ හැකි පොදු වේදිකාවක් නිර්මාණය කිරීමයි.
පසුගිය දශකය තුළ ඉන්දියන් සාගරය ආශ්‍රිතව අවි ආයුධ ජාවාරම, මුහුදු කොල්ලකෑම්, මිනිස් ජාවාරම්, සාගරික ත්‍රස්ථවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම යනාදී සාගරික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් රාශියක් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය විය. එමඟින් සාගරික ක්‍රියාකාරකම් වලට විශාල බලපැමක් එල්ල වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරික ත්‍රස්ථවාදය පිටුදැකීම සහ ඉන්දියානු සාගර කලාපයේ සාගරික ක්‍රියාකාරකම්වල ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා විශාල කාර්යයභාරයක් ඉටු කරන ලදි.
මෙවැනි පසුබිමක් යටතේ සාගරික ක්ෂේත්රයේ උද්ගත වෙමින් පවතින පොදු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් සහ ගෝලීය ක්රමෝපායක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම සම්මන්ත්‍රණය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අමතා නාවික හමුදාධිපතිතුමන් විසින් සිදු කළ පිළිගැනීමේ කථාව |
![]() |













