නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු, කේරළ ගංජා සහ වේදනා නාශක පෙති ළඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු සහ නිතී විරෝධි මදන මෝදක ළඟ තබාගත් පුද්ගලයෙකු මෙන්ම අයිතිකරුවෙකු නොමැති ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
නැගෙනහිර නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ඔක්තෝබර් 04 වන දින පරවි දුපත ආශ්‍රීත මුහුදු ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 02 ක් හා තහනම් දැල් 02 ක් නාවික හමුදා භාරයට පත් වූ අතර, එම පුද්ගලයන් ඇතුළු ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා නිලාවේලි, වන ජිවි දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.
පසුගිය ඔක්තෝබර් 06 වන දින නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරු මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලච්චේන්නායි පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව වලච්චේන්නායි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) පෙති 18 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 16 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වලච්චේන්නායි, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, මිරිස්ස වෙරළාරක්ෂක මධ්‍යස්ථානය වෙත ලද තොරතුරකට අනුව, ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 10) කඹුරුගමුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස මදන මෝදක අලෙවි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔහු සතුව තිබී මෝදක ගුලි 100 ක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ මෝදක තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කොටවිල, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරු මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් පසුගිය ඔක්තෝබර් 06 වන දින උච්චමුනි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කීරමුන්ඩලම් සහ උච්චමුනි යන ප්‍රදේශය අතරතුරදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 82 ක් සොයා ගැනීමට සමත් විය. මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි





