මත් ද්‍රව්‍ය මැඩලීමේ නාවික හමුදා සමාජ මෙහෙවර
මතින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමඟ අත්වැල් බැද ගනිමින් නාවික හමුදාව නීති විරෝධී මත් ද්‍රව්‍ය වැටලීමේ මහත් සමාජ මෙහෙවරක් ඉටු කරමින් සිටියි.
සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව තුළ නීති විරෝධි ලෙස මත් ද්‍රව්‍ය විකිණීම සහ ලඟ තබා ගැනීම වැනි කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව මේ වන විටත් විශාල දායකත්වයක් ලබා දී ඇත. වෙනත් රටවල් වල සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට විශාල වශයෙන් රැගෙන ඒමට උත්සාහ කරනු ලැබූ මත් ද්‍රව්‍ය තොග විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත පුද්ගලයන් එම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට නාවික හමුදාව සමත්ව ඇත.
ඒ අනුව, ලද බුද්ධි තොරතුරු මත සහ සිදු කරන ලද වැටලීම් මගින් මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 29.9 ක් (29.9 Kg), කේරළ ගංජා කිලෝග්‍රෑම් 1466.5ක් (1466.5 Kg) සහ ගංජා කිලෝග්‍රෑම් 3219.7 ක් (3219.7 Kg) අත්අඩංගුවට ගෙන ඇත.
තවද, හෂීස් කිලෝග්‍රෑම් 3.00 ක්, මදන මෝදක පැකට් 118 ක්, මත් වීම සඳහා යොදා ගත් වේදනා නාශක ඖෂධ කරල් 33286 ක්, නීති විරෝධී දුම්වැටි 8660 ක්, දුම්කොළ නිශ්පාදන කිලෝග්‍රෑම් 128.45 ක් සහ නීති විරෝධී මත් පැන් ලීටර් 182 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. මෙම මත්ද්‍රව්‍ය තොගයන් සමඟ ඉන්දීය ජාතිකයින් 8 දෙනෙකු ඇතුළුව සමස්ථ පුද්ගලයින් 193 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට නාවික හමුදාව සිය දායකත්වය සපයා ඇත.
වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ මගපෙන්වීම සහ උපදෙස් මත මුහුදු මාර්ග ඔස්සේ සහ ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු වැඩලීමේ ජාතික මෙහෙවර නාවික හමුදාව විසින් ඉදිරියටත් සිදු කරමින් පවතී.














