‘හරිත රටක් පිරිසිදු පරිසරයක්’ යටතේ නාවිකයන් උතුරු සහ නැගෙනහිර මුහුදේ කොරල්පර නැවත වගා කරයි
අතිගරු ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යංශයේ ‘හරිත රටක් පිරිසිදු පරිසරයක්’ යන දැක්ම පෙරදැරිව, ශ්‍රී ලංකා වන ජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරයේ පූර්ණ මෙහෙයවීම යටතේ උතුර සහ නැගෙනහිර නාවික විධානයන්ට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවික පුද්ගලයින් විසින් ත්‍රිකුණාමලය කොරල් කෝව් සහ යාපනය චාට් වෙරළ තීරයේදී කොරල්පර නැවත වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
සීග්‍රයෙන් අහිමිව යන සාගරික අලංකාරත්වය ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර, එම ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍යමය දායකත්වය ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ලබා දී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස මෙම කාර්යය සඳහන් කළ හැක. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පළමුව නාවික කිමිදුම්කරුවන් කොරල්පර පිළිබඳව දැනුවත් වීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය. එම වැඩසටහන ‘Blue Resources’ සංවිධානය විසින් පවත්වන ලද අතර, එහිදී කොරල්පර පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එසේ රැස් කර ගත් න්‍යායාත්මක දැනුම සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් තෝරාගත් පාෂාණ කොටස් මත කොරල් වගා කිරීම සඳහා සිටුවීම සිදු කරන ලදී. තවද, ධීවර කටයුතු සිදු කිරීමේදී සිටුවන ලද කොරල් වලට සිදු විය හැකි අනතුරු වළක්වාලීම සඳහා එම කොරල් ආශ්රිත මුහුදු ප්‍රදේශය සළකුණු කිරීමට ද ඔවුන් කටයුතු කර ඇත.
නාවික පුද්ගලයින්ගේ පූර්ණ අධීක්ෂණය සහ රැකවරණය යටතේ මෙම කොරල් සශ්‍රීකව වර්ධනය වන අතර, එම කොරල් ආශ්‍රිතව වැඩෙන විලෝපික ශාක ඉවත් කිරීම සහ රළු මුහුදු තත්ත්වය යටතේ සිදු විය හැකි හානි මැඩපැවැත්වීම පිළිබඳ නිරන්තර සෝදිසියෙන් පසුවීමට ද නාවික හමුදාව කටයුතු කරනු ලබයි.












